Apr 5, 2016

විදුසර,නලින්ද සිල්වා සහ අපි

අප මෙම සටහන් පෙළ ලිවීම ආරම්භ කරන ලද්දේ නලින්ද සිල්වා මහතාගේ අදහස් ගැන හෝ දේශපාලන මාතෘකා පිලිබඳව පමනක් හෝ කතා කිරීමේ අරමුණෙන් නොවේ. බෞද්ධ දර්ශණයට අනුව සියලුම මනුෂ්‍යයන්ගේ  ක්‍රියාකාරීත්වයට පදනම වන්නේ පුද්ගලයාගේ දැක්මයි. සම්මා දිට්ඨිය ලෙස හදුන්වන්නේ  මෙසේ ලෝකය දැකිය යුතු නිවැරදි දැක්මයි.  මිනිසා තමන්ගේ ලෝක දැක්ම සකස්කර ගන්නේ ආත්මීය ලෙස වුවත් ඒ සඳහා හේතුවන සාමූහික මනුෂ්‍යය ක්‍රියාකාරීත්වය මගහැර යා නොහැකි සාධකයකි. බුදුන් වහන්සේ සත්‍යය දැකීමට සමාජයෙන් හුදකලාවන ලෙස පවසා ඇත්තේද මේ නිසයි. නමුත් සමාජයේ වෙසෙන අප වැන්නන්ට ස්ථාපිතව ඇති අධිපති මතවාදයන් විවේචනයට ලක් නොකර නිවැරදි ලෝක දෘෂ්ඨියක් ඇතිකර ගත නොහැක.නලින්ද සිල්වා මහතා ගැන අපට කථා කිරීමට සිදුව ඇත්තේද මේ නිසාමය. 

මිනිසා සාමූහිකත්වය සඳහා පොළඹවන ඒකම හේතුව සාමය හා සමෘධියයි. ශ්‍රී ලාංකිකයාද  උත්සාහ කරමින් සිටියේ සාමය සහ සමෘධිය සොයා යා යුතු ගමනට වුවත් සිදුවූයේ ජාතිවාදය නම්වූ ගැඹුරැ ආගාධයකට ඇද වැටීමටයි. කල යුතු වූයේ මේ වලෙන් ගොඩ ඒම වුවත්, අප කලේ මේ වැටුනු ආගාධය අපේ ලොකය කර ගැනීමට උත්සාහ කිරීමයි. වලෙන් පිටත ලොකයක් නැති බවටත්, එය අපේ නොවන බවටත් නිර්මාණය කරගත් මේ සංකල්පීය ලොකය සැබෑ ලෝකය නොවන බව තේරැම් ගැනීම, වලෙන් ගොඩ ඒමටත්,කන්ද තරනය කිරීමටත්  ඇති එකම මගයි. 

අප කැමති වුවත් අකමැති වුවත් ලාංකීය දේශපාලනය තුල නලින්ද සිල්වා මහතා කල මැදිහත්වීම සුලුකොට තැකිය නොහැකිය. වැටුනු ආගාධය මගේ ලොකය ලෙස සංකල්පගත කිරීමේ නියමුවන් අතර ඔහු  ප්‍රබලයෙකි. එය දේශපාලනික මැදිහත්වීමක් පමනක්ම නොවේ. එක්තරා  යුගයක විසූ බොහෝ තරැණ  පිරිසකට වන්දනීය වූ දෘෂ්ඨියක් නිර්මාණය කර දීමටද ඔහු සමත් විය. දශක කීපයක් තුල සිදුවූ බොහෝ දේශපාලන පෙරලි ගණනාවකට පසුව පවා සමාජය තුල ඔහුගේ අදහස් දේව භාෂිතයන් සේ පිලිගන්නා පිරිසක් සිටින බව පෙනේ.

ඔහු විසින් ඉදිරිපත්කල අදහස් යම් නිෂ්චිත කාල අවකාශයක, සමාජ සහ ආර්ථික ක්‍රියාවලියක් නිසා සිදුවුනු දේශපාලන අවශ්‍යතාවයකි. එම අදහස් සිංහල බෞද්ධ සංස්කෘතික අන්‍යයතාවය මත පදනම් වූ මතවාදයක්වත්, සර්වකාලීන දාර්ශනික මතවාදයක්වත් නොවේ. ( සැබැවින්ම එය  පසු නූතන ආර්ථික, පාරිභෝගික දේශපාලනයේ අවශ්‍යයතාවයන් ඉටු කරන්නකි) ඔහු විසින් ඉදිරිපත් කරන ඍජු දේශපාලන අදහස් සාකච්ඡා කිරීමේ ගැටලුවක් අපට නැතත් එම දේශපාලන අදහස් සමග සැරසිලි ලෙස ගැටගසා ඇති මිනිසා මූහුන දෙන සදාකාලින දාර්ශනික ගැටලු  ප්‍රථමයෙන් පරික්ෂාකාරීව ලිහා ගත යුතුය. අප විසින් දකින ආකාරයට ඔහු විසින් ඉදිරිපත් කරන දේශපාලන අදහස්වලටත් වඩා දාර්ශනිකව ඉදිරිපත්කරන චින්තනය බිහිසුනු සහ විනාශකාරීය.

දැනුම යනු උපකරනයකි. උපයෝගීතාවයට වඩා වටිනාකමක් දැනුමෙහි නැත. (ආශාව, තන්හාවද උපයෝගීතිවයකි) කෙනෙකුට  එලවලු හෝ පලතුරැ කැපීමට උපයෝගීකර ගන්නා ආයුධය   තවෙකුගේ ගෙල සිඳ දැමීමටද යොදා ගත හැකිය. එසේම ගෙල සිඳීමට යොදා ගන්නා ආයුධය එලවලු හෝ පලතුරැ කැපීමට යොදාගැනීමේ නොහැකියාවක්ද නැත.නමුත් එලවලු හෝ පලතුරැ කැපීමට යොදා ගන්නා ආයුධය සහ ගෙල සිඳිමට යොදා ගන්නා ආයුධය අතර ඇති වෙනස්කම් හඳුනාගන්නා නිර්නායක අහිමිකරගත්විට සිදුවිය හැක්කේ කුමක්ද? එලවුලු කපන්නා, ගෙල සිදින්නා පමනක් නොව ආයුධ තනන්නා පවා විනාශවීම වැලැක්විය නොහැකිය.  සමහර විට මේ සියල්ලන්ම ආයුධ ජාවරම්කරැවන්ගේ ගොදුරැ විය හැක. මෙහිදී අප නලින්ද සිල්වා මහතා විවේචනය කරන්නේ අදහස් ගොනුවක් ලෙස මිස පුදගලයෙකු ලෙස නොවේ. කාලාන්තරයක් තිස්සේ සමාජගත වූ   ජාතිකත්වය පිලිබඳ ව්‍යයාජ මතවාදයක් ඔහු විසින් මැනැවින් සංකල්ප ගත කර ඇති අතර එම අදහස් විවේචනය ඔස්සේ වඩා ඵලදායක දේශපාලන සංවාදයක් මතුකරගත හැකිවනු ඇතැයි අපගේ විස්වාසයයි. ජාතිකත්වයෙන් තොර අන්තර්ජාතිකත්වයක් පැවතිය හැකියයි අප විස්වාස නොකරන අතරම අන්තර්ජාතිකත්වයෙන් තොර ජාතිකත්වයකටද පැවැත්මක් ඇතැයි අප විස්වාස නොකරමු. ජාතිකත්වය යනු අරමුණක් වෙනුවෙන් ඇති කැමැත්තක් හෝ ආශාවක් මිස මතවාදී ලෙස සංකල්පගතකල හැකි දාර්ශනික චින්තනයක් නොවේ.

අපි විසින් මෙයට පෙර පලකල සටහන් කීපය බ්ලොග් අඩවියේ පල කිරීමට පෙර විදුසර කතුවරයාට යොමුකරන ලද්දේ නම්, ගොත්, පට්ටම් නොමැතිව එය පුවත්පතේ පලවනු ඇතැයි විස්වාසයකින් නොවේ. මූලික  බුදු දහමට අනුව පවා මිත්‍යයා දෘෂ්ඨික් ලෙස දැක්විය හැකි මතවාදයක් බුදු දහම ලෙස දක්වමින් විද්‍යයාව නමින් පලකරන සඟරාවක විද්‍යයාවට එරෙහිවූ දේශපාලන මතවාදයක් ලෙස ඉතා නිර්ලජ්ජිතව දරැවන්ගේ මනසෙහි රෝපනය කරන ආකාරය පුවත්පතේ බළධාරීන්ගේ හෝ අවධානය යොමුවනු ඇතැයි විස්වාසයෙනි.   විදුසරෙන් නලින් මහතා පන්නා දැමීමට ඇති සැබෑ හේතුව අප නොදනිතත් වසර විසි ගනනකට පසුව හදිස්සියේ නලින් මහතාට 'පල නොකියා පලා බෙදීමට' විදුසර කතුවරයාට ප්‍රඥාව පහල වීමට වැදගත් හේතුවක් තිබෙනවාට සැකයක් නැත.

මෙයට කලකට පෙර මිතුරැ කවයක ඇතිවූ සංවාදයකදී නලින්ද සිල්වා මහතාගේ අවංක කම සහ අව්‍යයාජත්වය පිලිබදව කතාබහට ලක්විය. ඔහුගේ අවංකබව හෝ අව්‍යයජත්වය පුද්ගලිකත්වය ඔස්සේ තීරනය කිරීම නිවැරදි නොවන බව අපේ අදහස විය. අප ඔහුව හදුනන්නේ විද්‍යයා ක්ෂේත්‍රයේ ඔහු ලබා ඇති සුදුසුකම් සහ චින්තකයෙකු ලෙස ඔහු පලකරන අදහස් ඔස්සේය. ඔහුගේ අවංකබව සහ අව්‍යයාජත්වය තීරනය වන්නේ ඔහු පලකරන අදහස් ඇසුරෙන් මිස පුද්ගලිකත්වය ඔස්සේ නොවේ. සත්‍යය පිලිබඳ මිනිසා තුල ඇති සදාකාලික ව්‍යයාකූලත්වය සහ ඒ පිලිබඳව සකසා ගත යුතු නිර්නායක පිලිබඳව බුද්ධිමය සංවාදයක් පැවතිය යුතු බව අප පිලිගත යුතුය. නමුත් ඇට නැති දිව හතර අතට වනමින් වචන හරඹ දක්වන දේශපාලකයින් සිත්සේ දැක ඇති අපට එවැනිම  චින්තකයෙකු දැකීම තවදුරටත් ප්‍රියජනක වන්නේ නැත.  ජාතියක හෝ වෙනත් මිනිස් සාමූහිකත්වයක සාර්ථකත්වය රඳාපවත්න්නේද අවංකබව සහ අව්‍යයාජත්වය රැකගැනීමට ගන්නා උත්සාහය මතයි. සංස්කෘතික ශික්ෂණය සහ අව්‍යයාජබව එකට ගැට ගැසීම දුෂ්කර බව සැබෑය.නමුත් සියල්ල බොරැයැයි විස්වාස කරන පිරිසක් අතර ඇත්ත පිලිබඳව පවතින නිර්නායකයන් කුමක් විය හැකිද? සිංහල බෞද්ධයාගේ සංස්කෘතික අත්පොත වන පංසිය  පනස් ජාතක  කතා පොතේ  බෝධිසත්වයන්ගේ සංසාර ගමන තුලදී සියලු පාප කර්ම කර ඇතත් නොකල එකම පාපය ලෙස මම අසා ඇත්තේ බොරැ කීමෙන් වැලකීමයි.විට්‌වින්ස්‌ගන්ටයින්  (නම වැරදි විය හැක) නම් දාර්ශනිකයාට අනුව බොහෝ දාර්ශනික ගැටලුවල ඇත්තේ වචන ගැට හෝ හරඹයන්ය. නමුත් වචන ගැට ගැසීම දර්ශණයක්  කරගත් අයකු පිලිබඳව අප කුමන විස්වාසයක් ඇති කර ගත යුතුද? මෙම සටහන්වල එකම අරමුණ ඔහු ගසා ඇති ගැටතුල සැඟවුනු කිසිවක් නැතිබව පෙන්වා දීමයි.

දැනුම තුලින් ලබන ශික්ෂණය රඳාපවතින්නේ ඒ කෙරෙහි පවතින විස්වාසය අනුවයි.(ශ්‍රද්ධාව,භක්තිය) ශික්ෂණය ලැබිය හැකි නිර්ව්‍යයජ සංස්කෘතික ක්ෂේත්‍රයන් (විද්‍යයාව, කලාව, දේශපාලනය, වානිජ්‍යය) නොමැතිනම් නම් වඩා ථලදායක දැනුම ඇසුරෙන් ශික්ෂණය ලැබීම හැර අන් මගක් මිනිසාට නැත. ඒවා අපේද, අන්‍යයන්ගේදැයි ඉරිගසා වෙන්කර ගැනීමට උත්සාහ දැරීම නුවනැති අදහසක් නොවේ. අපේ සහ උන්ගේ යැයි කෙනෙකුට ඉරිගසා පෙන්විය හැකි තරම් සංස්කෘතිය   සරල නැත. අපේයැයි කිව හැකි විද්‍යයාවක්, කලාවක්, සංස්කෘතියක්, දේශපාලනයක් පිලිබඳව ඇති බලාපොරොත්තු හෝ විස්වාසය මත, පවතින විද්‍යයාව, කලාව, දේශපාලනය කෙරෙහි  ඇති විස්වාසය බිඳ දැමිම බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් නම් නොවේ. කුලියාපිටියේ  දරැවාගේ ප්‍රශ්නයේදී ජනයාගේ මුග්ධ හැසිරීම ඒඩ්ස් රෝගය සහ එය බෝවන ආකාරය පිලිබදව නොදන්නාකම නිසා ඇතිවූවක් නොවේ. තමන් දන්නා දැනුම කෙරෙහි තිබිය යුතු විස්වාසය අහිමිවීම එහි වූ ගැටලුවයි. නලින්ද සිල්වා මහතාට අවශ්‍යය නම්  තමන්ගේ විසි වසරක ව්‍යයායාමයේ ඇති සාර්ථකත්වය පිලිබඳව සතුටු විමට මෙය හොඳ අවස්ථාවක් විය හැක.

නලින්ද සිල්වා මහතාට 'මගේ ලෝකයේ' අදහස් සකස්කර ගැනීමට කටුකුරැන්දේ ඥාණානන්ද හිමියන්ගේ 'Concept & Reality' කෘතියේ අදහස් උපකාරී වූ බව කොහේ හෝ සඳහන්කර තිබුනා මතකය. ඒ හිමියන් පුද්ගලිකව ලේඛකයා හා පැවසූ ආකාරයට සිල්වා මහතා ඒ හිමියන් මුනගැසී ඒ පිලිබඳව කෘතවේදීත්වය පවා දක්වා ඇත. නලින්ද සිල්වා මහතාගේ අදහස් පිලිබඳව ඒ හිමියන්ට වැඩි අවබෝධයක් නොතිබුනත්ඒ පිලිබඳව පැහැදිලි කල අවස්ථාවේ ඒ හිමියන් පවසන ගත් කටටම පවසන ලද්දේ සර්පයා වලිගයෙන් අල්ලාගෙන ඇති බවයි. සිල්වා මහතා බිහිකල, උත්කර්ශයට නංවමින් රැකගැනීමට උත්සාහ කරන අව්‍යයාජ සිංහල බෞද්ධකම පිලිබඳව උන්වහන්සේගේ ප්‍රසාදය කොතෙක්ද යත් සිංහල බෞද්ධයින් මහනකර ගන්නට පවා උන්වහන්සේගේ වැඩි කැමැත්තක් නැත. විශාල විදේශික භික්ෂු පිරිසක් බිහිකර ඇති ඒ හිමියන් ලඟ මම දන්නා ආකාරයට පැවිදිකරගෙන ඇත්තේ එක් සිංහල බෞද්ධ තරැණයෙකු පමනි. උන්වහන්සේගේ අදහස වන්නේ ජාතියත්, අගමත් නිසා ඔලුව අවුල්කරගෙන ඇති සිංහල, බෞද්ධයාට බුදුන් වහන්සේ පවසා ඇති දේ වටහා ගැනීම දුෂ්කර බවයි. මහින්දගේ වලිගයේ එල්ලී දෙව්ලොව යෑමට සැරසෙන නූතන සිංහල බෞද්ධ චින්තනයේ ඇති සීමිතකම අවබෝධකර නොගතහොත් ජාතියත්, ආගමත් යන දෙකම විනාශකර ගැනීමට සිදුවීම  වලක්වා ගත නොහැකිවනු ඇත.

අප මෙසේ නිර්නාමිකව අදහස් පලකරන්නේ පුද්ගලිකත්වයට වඩා අදහස්වල වටිනකමක් ඇතිබව අප විස්වාස කරන නිසයි. නමුත් එය බරපතල අඩුවක් ලෙස සමහර අයට දැනෙන බව පුද්ගලිකව කරන විමසුම් මගින් පෙනීයයි. කෙසේ වුවත් අප ඉදිරිපත්කරන අදහස් පිලිබඳව පුද්ගලිකව වුවත් පෙනී සීටීමේ නොහැකියාවක් නැති බවද සඳහන් කල යුතුය.