Jun 30, 2016

මේ මගේ අදහසයි.


සම්මා දිට්ඨි කියන බ්ලොග් එකත්, ඒ නමින්ම නම් කල ෆේස් බුක් ගිනුමත් ආරම්භ කලේ යම් අරමුණක් එක්ක. ඒක දේශපාලන වැඩක්. ඒ වැඩේ ගැන පුරසාරම් කියනවට වඩා නලින්ද සිල්වා මහතා ඒ විවේචන බාරගත් ආකාරය ගැන සතුටු වෙනව.

සම්මා දිට්ඨි කියන නම මේකට දැම්මෙ මම විස්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ලෝකය දකින්න සුදුසු දැක්මක් එම සංකල්පයෙ තියෙන නිසා. නමුත් ඒක බෞද්ධ ආගම ප්‍රචාරය කරන්න කරපු දෙයක් නෙමේ. මට හිතෙන ඕනෑම අදහසක් මම එකෙ කතා කරනව.

මම ලියන්නෙ මගේ අදහස්. බුදු දහම කියල මම ලියන්නෙ මම දන්න, මම විස්වාස කරන, මට තේරෙන  බුදු දහම. බුදු දහම ගැන කාටවත්, ඊට වඩා දෙයක් කියන්න  පුලුවන් කියල මම හිතන්නෙ නෑ. හැමෝම කියන්නෙ තම තමන් බුදු දහම කියල විස්වාස කරන දේ. බුදු දහම ගැන විතරක් නෙමේ, කිතුනු, ඉස්ලාම්,හින්දු වගේ ආගම් ගැනත් කවුරැ කරන්නෙත් ඔය ටිකම තමයි. මාක්ස්වාදය, ලිබරල්වාදය, විද්‍යයාව, දර්ශනය ඔය කොයි දේ ගැන උනත් අපිට කතා කරන්න වෙන්නෙ අපේ වැටහීමත් එක්ක.

මෙතනදි මම හිතන්නෙ වැදගත්ම දේ වෙන්නෙ අපි දරන අදහසට අපි කොයි තරම් අවංක වෙන්න පුලුවන්ද කියන එක. අපිට වැටහෙන ඕනෑම අදහසක් දරන්න, කතාකරන්න, ලියන්න අපිට පුලුවන්. නමුත් ඒ අයිතියත් එක්ක අපිට වගකීමකුත් තියෙනව.

සම්මා දිට්ඨි නමින් ෆේස්බුක් ගිනුම ආරම්භ කලාට පස්සෙ උනේ මම නොහිතපු වැඩක්. එක දිගට මිතුරැ ඉල්ලීම් එන්න ගත්තෙ සිය ගණනින්. දැනට යාලුවො 3000 විතර හිටියට මම ඉල්ලල යාලු උනේ 30-40 වගේ ගණනක් විතරයි. දන්න අය ඉන්නෙ අතේ ඇගිලි ගණනට. පුදුමෙ ඒක නෙමේ. මේකෙන් සිය ගානණක්වත් මම ලියන දේ කියවන අය නොවන එක.

ආගමේ හොඳ ගැන කතා කරනව වගේම මේ භයානක පැත්ත ගැනත් අපට කතා නොකර බෑ. මේ වගේ අධි තක්සේරැ වූ වචනයක්, සංකල්පයක්, අදහසක් ඉදිරියට දාගෙන තමන්ගෙ පටු අරමුණු ඉටුකර ගන්න උත්සාහ කිරීම කොයි තරම් භයානක වෙන්න පුලුවන්ද? ඇත්තටම දැනට ආගමේ නමින් බොහෝ විට සිද්ධ වෙන්නෙත් මේ දේම තමයි. 

මේක ආගමේ විතරක් වෙන දේකුත් නෙමෙයි. නුතන ධනවාදයෙ ව්‍යයාපාරික උපක්‍රමය වෙන්නෙත් මේකමයි. දැන්වීම් වලින් ගොඩ නගන වෙළඳනම්, සංඥා මත විවිධාකාර වූ සංකල්පීය අගයන් නිර්මාණය කිරීම තමයි ප්‍රග්ධනය ඔස්සේ කෙරෙන්නෙ. නුතන ධනවාදය ගැන අපිට තියෙන ප්‍රබලම විවේචනය වෙන්නෙත් මෙහි ඇති වගකීම් විරහිත බව. මේකෙ කොයි තරම් දුර ගිහිල්ලද කියනවනම් අද පුද්ගලයට තමන් කෙරෙහි ඇති වගකීම පවා පේන්නෙ නෑ. ආගමයි, ධනවාදයයි දෙකම එකතුවෙන එක ගින්දරයි, පුලුනුයි එකතුවෙනව වගේ තමයි.

අපි (එහෙම ලිව්වට මම විතරයි) ශාස්ත්‍රීය බුද්ධිමතුන්වත්, මාධ්‍යයවල බැබලෙන කීර්තිමත් චරිතවත් නෙවෙයි. ලෝකයෙක් එතෙර වෙලා නැති හන්ද කියන, ලියන දේ පිරිසක් අතර බෙදාගන්න, පිලි ගැනීමක් ඇතිකරගන්න තියෙන මිනිස් ආසාව අපටත් තියෙනව. ලොකය හදන්න, වෙනස් කරන්න, විප්ලව කරන්න බැරි බවත් අපි හොදින්ම දන්නව. ඒ උනත් සමාජීය සත්වයෙකු හැටියට ඇති වගකීමෙන් සම්පූරයෙන් බැහැර වෙන්න බැරි බවත් ඒ තරමටම අපි දන්නව.


ෆේස්බුක් ගිනුම පුද්ගලික නමට මාරැ කලේ  තමන්ගෙ අදහස් පිලිබදව වගකීමක් පුද්ගලයාට ඇති බව අප විස්වාස කරන නිසයි. අන්‍යයතාවය අතුරැ ඵලයක් විතරයි.

Jun 23, 2016

3. අශෝකගේ බුද්ධාගම- බෞද්ධ ආගම සහ නිර් ආගමික බුදු දහම

ඕනෑම සංස්කෘතියක් බිහිවන්නේ විවිධ වූ අන්‍යයතා සහිතවයි. මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව ඇරඹු සංස්කෘතික පරිනාමයට විවිධ හේතු තිබිය හැක. වසර පුරා හිරැට නිරාවරනය වූ  විවෘත අහසක අසිරිය විඳින ආසියානුවාට  අසීමිත අවකාශය සහ එහි වෙනස්වීම් හොඳින් දැනේ. නමුත් පොලොවේ ඇති වන පරිසර වෙනස්කම් සීමිත බැවින් කාලය ඔවුන්ට හොඳින් දැනෙන දෙයක් නොවේ. අඳුරැ අහසට හුරැවූ  යුරෝපීයයා දකින අවකාශය සීමිත වුවත් ඝෘතු විපර්යාස බහුල බැවින් කාලය පිලිබදව ඉතා සංවේදීය. යුරෝපීයයන්ට ලෝකය අභියෝගයක් සේ දැනනෙන්නේද, අසියානුවන්ට තමන්ම අභියෝගයක් සේ දැනෙන්නේද මේ නිසා විය හැක. හේතුව කුමක් වුවත් යුරෝපයේ දේවවාදය සහ බෞද්ධ අදේවවාදය සුවිශේෂී සංස්කෘතික සහ චින්තන අන්‍යයතාවයන් දෙකක් වන බවට සැකයක් නැත.

ආසියානු සංස්කෘතික අන්‍යයතාවය තුල බුදුන් වහන්සේ විශිෂ්ඨයෙකු බව පිලිනොගන්නා අයෙකු සිටීයැයි මම නොසිතමි. නමුත් මේ බොහෝ දෙනාගේ විස්වාසය වන්නේ  උන් වහන්සේ ආගමික ශාස්තෘවරයෙකු පමනක් බවයි.  එසේ වුවත් සිද්ධාර්ථ ගෞථමයන්ගේ අවසාන අරමුණ වූයේ ආගමෙන් ගැලවෙන මාර්ගයක් සොයා ගැනීමයි.

බුද්ධ කාලීන ඉන්දියානු ඉතිහාසය හදාරන විට එම යුගයේ ඉන්දියාවේ පැවති නොයෙකුත් ආගම්, විස්වාස, ඇදහීම් පිලිබදව වටහා ගතහැක. සංවිධානය වූ ආගම් බිහිව නොතිබුනු මේ යුගයේ සාම්ප්‍රදායික ඇදීහීම්  හා විස්වාසයන් පිලිබඳව විචාරයට ලක්වූ විප්ලවීය යුගයක් වු බව පෙනේ. සාම්ප්‍රදායට එරෙහි වූ විවිධ ශාතෘවරැන් නව අදහස් බිහිකරමින් විවෘත ලෙස සංවාදයේ යෙදුනු බවත්, සිද්ධාර්ථ ගෞථමයන්ද මේ ශාතෘවරැන් ඇසුරෙන් සත්‍යය සොයා ගැනීමට උත්සාහකල බවත් බෞද්ධ ඉතිහාසයෙන් තහවරැ වෙයි.  අවසානයේ මේ සියල්ල නිෂ්ඵල උත්සාහයන් බව උන්වහන්සේට වැටහින. උන්වහන්සේ විමුක්තිය ලබන්නේ සියලු ආන්තික මතවාද, දෘෂ්ඨිවාද අතහැරදැමීමෙනි.

දෘෂ්ඨියේ ඇත්තේ මූලික අන්තයන් දෙකකි. ඒ  විඥාණවාදය සහ භෞථිකවාදයි. බුදු දහමේ ශාස්ත්‍රවක දෘෂ්ඨිය සහ උච්ඡේද දෟෂ්ඨිය ලෙස හදුන්වන මේ අන්තයන් උන් වහන්සේ  පැහැදිලිව ප්‍රථික්ෂේප කලේය. මේ අන්තයන් මත පදනම් වූ එකල දඹදිව පැවැති හැට දෙකක් පමන වූ ආගමික ඇදහීම් හා  විස්වාසයන්ද  නිරර්ථක උත්සාහන් බව උන් වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේ තම ධර්මය හදුන්වාදුන්නේ මැදුම් පිලිවෙත ලෙසයි. එම දහම  අවබෝධකරගත්  රහතන් වහන්සේලා හඳුන්වන නම් අතරවන එක් නාමයක් වූයේ අශ්‍රද්ධා යන්නයි. එහි අදහස වන්නේ ශ්‍රද්ධාව හෙවත් විස්වාසය, ඇදහීම අවශ්‍යය නොවන, කිසිදු විස්වාසයකට, ඇදහීමකට නොබැඳෙන පිරිසක් බවයි. ආගම විස්වාස මත පදනම් වූ ඇදහීමක් නම් විස්වාසයෙන් නොඅදහන පිරිස නිර් ආගමිකයින් පිරිසකි. බුදු දහමේ කියවෙන මූලික අදහස වන්නේ පැවැත්ම තුල මිනිසාට සැබෑ නිදහසක් ලැබිය නොහැකි බවයි. නිදහස ලැබීමටනම් පැවැත්ම පිලිබදව ඇති ආශාව අත්හල යුතුය.

ත්‍රිපිටකයට අනුව බුද්ධත්වයෙන් 25 වසරක් ගතවන තුරැ තම අනුගාමික භික්ෂුන්ට කිසිදු සීමාවක් පැනවීමට බුදුන් වහන්සේ උත්සාහ ගත්තේ නැත. බුදුන් වහන්සේ තම අනුගාමිකයින්ට පලමු විනය නිතිය පනවන්නේ 25 වසරකට පසුය. යමෙකුට අවශයයනම් බෞද්ධ ආගම බිහිවන්නේ මේ අවස්තාවේ බවට තර්ක කල හැක.  නමුත් පොල් පැලයක්, පොල් ගසක් බවට පත්වන අවස්තාව නිෂ්චිතව කිසිවෙකුට පැවසිය හැකිද?

පරිනිර්වානය අවස්තාවේ භික්ෂුන් බුදුන් වහන්සේගෙන් විමසන්නේ උන් වහන්සේගෙන් පසු කවුරැන් නායකත්වයට පත්විය යුතුද යන්නයි. මෙහිදී උන්වහන්සේ දේශනා කරන්නේ තමන්ගෙන් පසු ධර්ම විනයම නායකත්වයේ තබාගෙන කටයුතු කරන ලෙසයි. මෙහිදී බුදුන් වහන්සේ ප්‍රථිෂේප කරන්නේ නායකයෙකු බිහිකිරීම පමනක් නොව ආයතනයක් ලෙස සංවිධානය වීමද ප්‍රථිෂේප කරයි.  

එසේ වුවත් බුදුන් වහන්සේගෙන් පසුව ශ්‍රවකයින්ට එම දැනුම පවත්වාගෙන යාමට යම් යම් පියවරයන් ගැනීමට සිදුවීම ස්වභාවිකය. පලමු සහ දෙවන ධර්ම සංගාවනාවන්හිදී භික්ෂූන් මුන දුන් බරපතලම ගැටලුව වන්නට ඇත්තේද මෙයයි. පැවැත්ම සහ සංවිධානය වීම පිලිනොගන්නා ධර්මයක් පවත්වා ගැනිමට සංවිධානය වීම කල යුත්තේ කෙසේද? 

කෙසේ වුවත්  බුදු දහම සංවිධානය වූ, වර්තමාන අර්ථයට අනුව ආගමක් බවට පත්වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් සියවස් කීපයකට පසු ධර්මාශෝක අධිරාජ්‍යයා ගෙනගිය ආගමික සහ දේශපාලන ව්‍යයාපාරය තුලයි. සමහර විද්වතුන් මෙය හඳුන්වන්නේ අශෝක ආගම ලෙසයි. අප රටට බෞද්ධ ආගම ලැබෙන්නේ මේ  ව්‍යාපාරය ඔස්සේ බවත් , රාජ්‍යය ආගම ලෙස එය සංවිධානය වූ අකාරය පිලිබදවත් අප හොඳින් දනි.

ත්‍රිපිටකය වචනාර්තයෙන් කියවීම පිලිබඳව මගේ වැඩි කැමැත්තක් නැතත් බුදුන් වහන්සේගේ අරමුණ සහ දැක්මෙහි තිබූ තියුනු බව පෙන්වාදිමට ගෝතමී සූත්‍රයේ ඇති සඳහනක් ගෙනහැර දැක්විය හැක. එයට අනුව තමන් පෙන්වා දුන් සාසන බ්‍රහ්ම වරියාව පවතින්නේ වසර පන්සීයකි. මෙහි සාසන බ්‍රහ්ම වර්‍යාව ලෙස හදුන්වන්නේ ආගමක් බවට පත්නොවූ බුදු දහමයි.  

යුරෝපය මුල්කරගෙන යේසුස්  වහන්සේ ගෙන ගිය ආගමික ව්‍යයාපාරය සහ අරාබිය මුල්කරගෙන මහම්මත් තුමා ගෙන ගිය ආගමික ව්‍යයාපාරය හා සැසදුවිට බුදු වහන්සේගේ ආගමික ව්‍යයාපාරය පැහිදිලිව වෙනස්වෙයි. ක්‍රිස්තුස් වහන්සේ සහ මහම්මත් තුමා තම ආගම දේශනා කරන්නේ ඝෘජුවම දේශපාලන බල අධිකාරීන්ට  කරන අභියෝගයක් ලෙසයි. ඒවා පැහැදිලිවම ආගම්ය. බුදුන් වහන්සේ කිසි විටක රාජ්‍යයට හෝ දේශපාලනයට අභියෝග නොකල පමනක් නොව රාජ්‍යයයෙන්, සමාජයෙන් හැකි තරම් ඈත්ව විසීමට උත්සාහ යුතු බවට භික්ෂූන්ට නියම කලේය.  බුදුන් වහන්සේ රජ පවුලකට සම්බන්ඳ වූවෙකු වුවත් ඒ සම්බන්දතාවයන් හරහා ආගම ව්‍යයාප්ත කීරීමට උත්සාහකල බවක් හෝ තමන් ඇසුරැකල රජවරැන්ගෙන් එවැනි අවස්ථාවන් බලාපොරෙතුතු වූ බවක් හෝ කිසිදු සඳහනක් නැත. බෞද්ධ දර්ශණයට අනුවම ජනතාව සංවිධානය කිරීම හෝ සංවිධාන ව්‍යුහයක් බිහි කිරීමට බුදු දහමේ අරමුනු සමග එකඟතාවයක් නැත.

අශෝක අධිරාජ්‍යයාගේ ආගමික ව්‍යයාපාරය තුල නිර් ආගමික බුදු දහම  ආගමක් බවට පත්කර ගැනීමට සිදුවීම බරපතල අභියෝගයක් බවට පත්වූවාට සැකයක් නැත. ආගමක් යනු යම් නිශ්චිත කාර්‍යයක්, අරමුණක් සහිතව ගොඩනැගුනු සංකල්ප පද්දතියකි.  නීතිය, සදාචාරය සහ ආචාරධර්මීය සම්මත එකඟතාවයන් තුල මනුෂ්‍යයාගේ සාමූහික ක්‍රියාකාරකම් පාලනය කර ගැනීම ආගම්වල මූලික කාර්‍යයයි. මෙය බෞද්ධාගමේ පමනක් නොව ඕනෑම ආගමක මූලික අරමුණයි.

සියලු මනුෂ්‍යය සම්මතයන්, සීමාවන් පමනක් නොව පැවැත්මෙන් පවා  මිදීමක් පිලිබඳව ඉගැන්වෙන නිර් ආගමික  බුදු දහම සීමාවන් පනවා ගන්නා බෞද්ධ ආගම බවට පත්කර ගැනීමට ගත් උත්සාහය බෞද්ධ පාර්ශවයන් අතර විවිධ මත ගැටුම් සඳහාද හේතු විය. මහා යාන, ථේරවාද ආදී විවිධ ආගමික විස්වාසයන් සහ පාර්ශවික බෙදීම් සඳහාද මුල් වන්නේ මෙයයි. මෙහිදී යොදාගත් ථේරවාදීන්ගේ උපක්‍රමය වූයේ පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස බුදු දහම බෙදා ගැනීමයි. පරමාර්ථ සත්‍යය ලෙස නිර් ආගමික බුදු දහමත්, සම්මුති සත්‍යය ලෙස බෞද්ධ ආගමත් වෙන්කර ගැනුනි.මෙරට බුදු දහමට පදනම් වන්නේද මේ මතවාදයයි. මහායානය මෙවැනි බෙදීමකට අනුකූල නොවූ අතර මේ නිසාම වඩා විසුරැනු ආගමික විස්වාසයන් ලෙස එය ව්‍යයාප්ත විය.
නූතන බෞද්ධයින් බොහෝ දෙනෙකු නොදන්නා නමුත් පරමාර්ථ සත්‍යය විමසන නිර්ආගමික බුදු දහමේ පදනම වන්නේ ත්‍රිපිටකයයි. සම්මුති සත්‍යය පෙන්වාදෙන බෞද්ධ ආගමට පදනම වන්නේ ජාතික කතා පොතයි. අප බෞද්ධ ආගම ප්‍රතිකෂේප නොකලත් නූතන බෞද්ධ අගම මේ බෙදීමේ ඇති වැදගත්කම නොසැලකිම නිසා බරපතල සමාජ වියවුලක් නිර්මානය කරගෙන ඇති බවනම් පිලිගත යුතුයි.



චමිල් විතාන

Jun 12, 2016

2-පශ්චාත් නූතන ආගම- බුද්ධාගම සහ නිර්ආගමික බුදු දහම

යුරෝපයේ ඇතිවූ පොතස්තන්ත ආගමික ව්‍යයාපාරයට හේතු වූ චින්තන විප්ලවය පිලිබඳව මීට පෙර ලිපියේ සදහන්කර ඇත. ජනතාවගේ  ලෞකික අධිකාරී බලය රාජ්‍යයට හිමි වීමත් කතොලික පල්ලියේ අධිකාරී බලය විවිධ පාර්ශව ඔස්සේ බෙදී යෑම ගැනත් එහි සඳහන් කර ඇත. නූතන  ආගම යන සංකල්පය බිහි වන්නේ මේ යුගයටත් පසුවය.

පොතෙස්තන්ත ව්‍යයපාරය කතොලික පල්ලියට එරෙහිව බිහිවූ ව්‍යයාපාරයක් මිස දෙවියන්ට එරෙහිවූ ව්‍යයාපාරයක් නොවීය. නමුත් පල්ලියේ නියාමනයෙන් මිදුනු නිදහස එතෙක් නොවූ නව මානයන්ගෙන්  දැනුම එක්රැස්කිරීමට සහ නිර්මාණය කර ගැනීමට  යුරෝපීයයන්ට ලැබනු අවස්ථාවක් විය. මෙය අවසන් වන්නේ පල්ලියට, ආගමට පමනක් නොව දෙවියන්ටත් විරැද්ධ වූ නිදහස් චින්තකයන් පිරිසක් බිහිවීමෙනි. මේ පිරිස දෙවියන් මෙන්ම යක්ෂයාද ආගම තුලටම දමා ආගමට පිටින් නිර්ආගමික සංකල්ප නිර්මාණය කර ගැනීමට උත්සාහ කලහ. අප දන්නා වර්ථමාන ආගම යන සංකල්පය බිහි වන්නේ මේ නිර්ආගමික සංකල්ප සමගයි.

සංකල්පීය දැනුම යනු නිශ්චිත අරමුණක්, කාර්‍යයක් ඉටුකර ගන්නා උපකරනයකි. ආගම යනු දැනුම් පද්දතියක් නම් එයින් කෙරැනේ අධිසංකල්පගත කල යම් යම් විස්වාසයන් හරහා  නිෂ්චිත අරමුණක් ඉටුකර ගැනීමට ගත් උත්සාහයකි. එය නීතිය, සදාචාරය හෝ අචාරධර්ම රැක ගැනීමේ අධ්‍යයාත්මික කාර්‍යය පමනක් නොවේ.  දැනුම නිර්මාණය, පවත්ගෙන යාම, සාමූහික, සංස්කෘතික ඒකීයත්ව රැකගැනීම ආදී වූ විවිධ අරමුණු ගණනාවක් විවිධ කාල වකවානුවල ආගම මගින් ඉටුකර ගැනින. අඳුරැ යුගයේ ආගමට  සියලු මිනිස් ක්‍රියාකාරකම් පාලනය කිරීමට හැකි වන්නේ මෙවැනි බොහෝ කාර්‍යයන් ඉටුකර ගැනීම සඳහා අවශ්‍යය වූ සංවිධාන ව්‍යූහයක් ගොඩ නගා ගැනීමට ආගමික ආයතන සමත්වීම නිසයි.

ආගම සමග නිර්ආගම එකිනෙකින් නිර්වචනය වීම යනු ආගමේ කාර්‍යයභාරයන් සහ ආගමට අයත් නොවන කාර්‍යයභාරයන් නිශ්චය කර ගැනීමයි. එතෙක් මිනිසාගේ එකම අරමුණ බවට පත්ව තිබුනු ආගම විවිධ අරමුණු සහිත ක්ෂේත්‍රයන් ලෙස වෙන් වෙන්ව හඳුනාගන්නේ මේ අනුවයි.  දේශපාලනය, විද්‍යයාව, කලාව, ආර්ථිකය ආදී වු විවිධ ක්ෂේත්‍රයන් මෙසේ ආගමින් වෙන්කර ගත් ක්ෂේත්‍රයන්ය. සදාචාරය, ආචාරධර්ම හා සම්බන්ඳ වන අධ්‍යයාත්මික ක්ෂේත්‍රයන්ට ආගමේ විෂය සීමාවිය. නිර් ආගමික මතවාදයන් පොෂණය වූයේ ආගමෙන් ගැලවුනු මේ දේශපාලනය, විද්‍යයාව, කලාව, ආර්ථිකය ආදී ක්ෂේත්‍රයන් ඔස්සේය. නූතනත්වය නමින් හඳුන්වන මේ  යුගය ඔස්සේ යුරෝපීයයන් බොහෝ දුර ගිය බවත් නව සංකල්ප සහ නිෂ්පාදයන් තුලින් ලෝකයේම තම අධිපත්‍යය තහවරැකර ගත් බවත් අප හොඳින්ම දනිමු. නූතන යුගයේ අවසානය වන විට අධ්‍යාත්මික ක්ෂේත්‍රය නොසලකා හරින තරමටම නිර්ආගමිකත්වය ප්‍රබල මතවාදයක් විය.

සියවස් කීපයක්ම යුරෝපීය යටත්විජියක් ලෙස පැවති අප රට  නිදහස ලබන්නේ මේ නූතන යුගයේ අවසානයත් සමගයි. ඔවුන්ගේ නුතන යුගය අවසන් වන්නේ නිර්ආගමට (සංකල්පීය විස්වාසයන්ට) ආගමෙන්, දෙවියන්ගෙන් ගැලවිය නොහැකි බවට ලබන අවබොධයත් සමගයි. එතෙක්  දෙවියන් මිය ගිය බවට උදම්වෙමින් චින්තන විප්ලවයත් සමග ආරම්භ වූ බුද්ධිවාදයෙන් විශ්වය ජයගැනීමට උත්සාහ කල යුරෝපීයයන්ට, මිනිසාට දෙවියන් විය නොහැකියැයි වැටහෙන්නේ ලෝක යුද්ධ දෙකක් විසින් සිදුකල  විනාශය දැකීමෙනි. අප පශ්චාත් නූතන යුගය ලෙස හඳුන්වන්නේ මෙම නව යුගයයි. ප්‍රශ්චාත් නූතනවාදීන් යනු මේ චින්තනය සංකල්පගත කිරීමට උත්සාහගන්නා පිරිසයි.

ආගම නිර්ආගමෙනුත්, නිර්ආගම ආගමෙනුත් අන්‍යයෝන්‍යය ලෙස නිර්වචනය වීම තුල මේවාට එකිනෙකට ස්වායක්තව පැවතිය නොහැක. වර්ථමාන බටහිර ආගම සහ නිර්ආගම පවතින්නේ එකම සංකල්ප පද්දතියක් ලෙසයි. මෙහිදී යමෙකුට තෝරාගැනීමේ නිදහසක් ඇතැයි සිතිය හැකි වුවත් මිනිස් චින්තනයේ ස්වභාවය (සංකල්පීය දැනුම නිර්මාණය වන ආකාරය) අනුව එසේ සිදුවන්නේ නැත. ඥාණය යන්න පිලිබදව විවිධ බැරෑරැම් නිර්වචන පැවතියත් අවසානයේ ඇත්තේ සැසදීමේ හැකියාවයි. සැසදිම කල හැක්කේ සමානකම් සෙවීම හෝ වෙනස්කම් සෙවීම පමනි. සමානකම් සදහා වසඟවීමට හෝ ඇලීමට හැකි අතරම වෙනස්කම් සඳහා ගැටීම හෝ එරෙහිවීම කල හැකිය. සංකල්ප හෝ සංඥාවලට ඇලීම මෙන්ම ගැටීමද නිදහස් චින්තනයකට ඇති මග අසුරා දමයි. නිදහස් චින්තනයට ඇති එකම මග ආගම මෙන්ම නිර්ආගමද නිවැරදිව නිර්වචනය කර ගැනීම ඔස්සේ එහි සීමාවන් පිලිබඳව ලබන අවබෝධයයි.

අප ප්‍රවේශයක් ලෙස යුරෝපීය ආගම් සහ දර්ශණයන් ඔස්සේ මේ සාකච්ඡාව ආරම්භ කලේ බෞද්ධ ආගම යනු කුමක්දැයි නිර්වචනය කර ගැනීම උදෙසාය. බුදු දහම සහ අනාත්ම දර්ශණයක් ඇසුරින් ගොඩ නැගුනු බෞද්ධ සංස්කෘතියක් පවතින ලාංකීය සමාජය සහ නිර්මාණවාදී දේව විස්වාසයන් සහිත ආත්මීය ආගමික සංස්කෘතියක් ඇති බටහිර එකම ආකාරයෙන් තේරැම් ගැනීමට හැකියැයි මම නොසිතමි. විද්‍යයාව, දේශපාලනය, ආර්ථිකය, කලාව ආදී නිර්ආගමික ක්ෂේත්‍රයන්හි බටහිර විසින් ගොඩනගාගෙන ඇති දැනුම සහ එහි උපයෝගීතාවයන් පිලිබදව සැකයක් නැත. නමුත් අප හොදින් දන්නා පරිදි එම දැනුම ඒ ආකාරයටම අප සංස්කෘතියට ගැලපීම දුෂ්කරය.

අප මෙහිදී නිර්ආගම යන වචනය භාවිතාකලේ සම්මත අර්ථ සහිතව නොව ආගමික නොවන අර්ථයෙන් බව මේවන විට තේරැම්ගෙන ඇතැයි සිතමි. විද්‍යයාව,ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය, මාර්ක්ස්වාදය වැනි මතවාදයන් පොෂණය වන්නේ නිර්ආගමික මතවාදයන් ලෙසයි. මුනුෂ්‍යයාට ආත්මීය ගැටලුවක් ඇති බවත් එම ආත්මීය ගැටලුවට ආමන්ත්‍රනය කිරිමට මේ නිර්ආගමික මතවාදයන් අපොහොසත්වන බවත් අපේ අදහසයි. ආගම සහ සංස්කෘතිය පුරවන්නේ මේ අඩුවයි. එය තාර්කික, බුද්ධිමත් නොවිය හැක. එසේම බුද්ධිමත් ලෙස විද්‍යයාව හෝ දේශපාලන මතවාදයක් ආගමක් බවට පත්කර ගැනීමටත් ඕනෑම අයෙකුට පුලුවන. නමුත් එවිට නිර්ආගම බවට පත්වන මනුෂ්‍යයාගේ නිසඟ දුබලතාවයන් ඉදිරියේ නරැමයෙකු නොවී ඉවසිය හැකි දියුනු දර්ශණයක්ද ඔහු සතුවිය යුතුය.  

මෙය උන්ගේ සහ අපේ යන පටු අර්ථ සහිත කතාවක් නොවන බවද සඳහන් කල යුතුය. විද්‍යයාවේ දෙවියන් දකින නලින්ද සිල්වා මෙන්ම බුදු දහමේ දෙවියන් දකින තාරක කල්දේරාද අප දකින්නේ එකම කාසියක දෙපැත්තක් ලෙසයි.

යුරෝපීය ආගම සහ නිර්ආගම එකිනෙකින් නිර්වචනය කර ගැනීම ඔස්සේ එහි අරමුනු සහ කාර්‍යයන්  මැනවින් නිශ්චය කර ගැනීමට ඔවුන් සමත්ව ඇතිබව සත්‍යයකි. එසේම එම කාර්‍යය නිශ්චය කර ගැනීම ඔස්සේ ලැබිය හැකි උපයෝගීතාවයන්ද  උපරිමව ලබන බවත් ඇත්තකි. ඒ අතරම එම චින්තන සීමාවන් තුල ඔවුන්ට යා හැකි ඉහලම සීමාවන් මේවන විටද සලකුනු කර පෙන්වා ඇති බවත් අප විසින් සිහි තබා ගත යුතුයි. ක්වෙන්ටම් භෞථිකය‍, විද්‍යයාවේ එම සීමාව නම් ධනවාදය, මාර්ක්ස්වාදය, ප්‍රජාතන්ත්‍රවාදය එහි දේශපාලනික සහ ආර්ථික සීමාවන්ය.

මේ සටහන්වල අරමුණ මෙරට සංස්කෘතික අන්‍යයතාවය වන බුදු දහම නිර්වචනය කර ගැනීමට උත්සාහ කිරීමයි. කිතුනු ආගම තුල නිර්ආගම සංකල්ප ගත වන්නේ ආගමට බාහිරින් වුවත් බෞද්ධ ආගමේ, නිර්ආගම ඇත්තේද බුදු දහම තුලමයි. බටහිර මතවාදී සංකල්ප සහ දර්ශණයන් ඔස්සේ බුදු දහම හෝ මෙරට සමාජය විග්‍රහ කිරීමට ගන්නා බොහෝ උත්සාහයන් අසාර්ථක වන්නේද මේ නිසයි. මෙය නූතන බෞද්ධ ආගමික, සංස්කෘතික, සදාචාර ක්ෂේත්‍රයේ  පමනක් නොව දේශපාලනික සහ ආර්ථික ක්ෂේත්‍රවලද  අර්බුධයන්ට හේතු වී ඇත.

බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම ථේරවාද සම්‍ප්‍රදාය ආරම්භයේ සිටම මැනවින් නිර්වචනය වූ අදහසකි.  බුදු දහමේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ලෙස බෙදා දක්වා ඇත්තේ මෙම බෞද්ධ ආගම සහ නිර් ආගමික බුදු දහමයි.  එයටත් ප්‍රථම මුල් බුදු දහම සේ සැලකෙන සූත්‍ර පිටකයෙහි ලෞකික සම්මා දිට්ඨිය සහ ලෝකෝත්තර සම්මා දිටිඨිය ලෙස දක්වා ඇත්තේද මෙයයි. අප විසින් නිර්වචනය කර ගත යුතුව ඇත්තේ නූතන බෞද්ධ ආගම විසින් අවුලක් බවට පත්කරගෙන ඇති මේ නිරාගමික බුදු දහම සහ ආගමික බුදු දහම අතර වෙනසයි.

ඉදිරි සටහන් ඔස්සේ බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම පිලිබඳව සොයා බලමු.


චමිල් විතාන

Jun 7, 2016

1.බෞද්ධ ආගම 1815 පසු බිහිවූ නූතන ආගමකි. -බුද්ධාගම සහ නිර්ආගමික බුදු දහම

බෞද්ධ ආගම විස්වාස කරන පිරිස මෙන්ම ආගම විස්වාස නොකරන නිර්ආගමික පිරිස් අතරද විවිධ සංවාද පසුගිය දිනවල දැකිය හැකිවිය. අප විසින් නලින්ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කල වියුක්ත  සහ  සංයුක්ත වශයෙන් සංකල්පීය දැනුම බෙදා ගැනීමෙන් කරන දේශපාලනය පදනමක් නැති බව පෙන්වා දීමෙන් පසු බුදු දහම සම්බන්ඳයෙන් ලිපි ගණනාවක් එක දිගටම ඔහු විසින් පලකර තිබුනි. සැබැවින්ම මෙය සියවසකට පෙර කල යුතුව තිබූ  නමුත් ගිලිහී ගිය ඉතා වැදගත් සංවාදයකි. ඕනෑම සංස්කෘතියක ආගම ඉතා වැදගත් සංරචකයකි. මේ නිසා ආගමේ ඇති දාර්ශණික හරය සහ එහි කාර්‍යයභාරය හඳුනානොගෙන සමාජයකට අනාගතය ගොඩනගා ගත නොහැක.  

බොහෝ ආගමිකයින් නිර්ආගමිකත්වය භයංකාර දෙයක් සේ දකින අතර බොහෝ නිර්ආගමිකයින්ටද ආගම විහිලුවකි. නමුත් සැබැවින්ම ආගම සහ නිර්ආගම අතර මේ තරම් දුරස්බවක් ඇත්ද? අන් ආගම් කෙසේ වෙතත් බෞද්ධ ආගම සහ නිර්ආගමික බුදු දහම ථේරවාදී සම්ප්‍රධාය තුල පැහැදිලිවම නිර්වචනය වූවකි. පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස හඳුන්වන්නේ මෙම බෙදිමයි. සමහර පිරිස් මෙය පොතෙස්තන්ත (විරෝධතා) බුදු දහම, ඕල්කට් බුදු දහම ලෙස ගැරහිමට  උත්සාහ කලත් මේ බෙදිම දෙවැනි සංගායනාවේ සිටම තිබුනි. සැඟවීමට උත්සාහ ගත්තද නලින් ද සිල්වා මහතා මගේ ලෝකය කෘතිය තුලින් උත්සාහ ගන්නේ නිර්ආගමික බුදු දහම සංකල්පගත කිරීමටයි. (ඉඩ ලැබුනහොත් මගේ ලෝකය ගැනද ඉදිරියේදී කතාකිරීමට උත්සාහ ගනිමු.)  
                                                                                           
අනාදිමත් කාලයක සිට ආගම් (Religion) පැවති බව විස්වාස කරන පිරිසකට ආගම් බිහිවන්නේ පසුගිය සියවස් දෙකක, තුනක කාලයකදී බව පැවසීම පුදුමයට කරැනක් විය හැක. නමුත් නුතන ගෝලීයකරනය වූ සංකල්පීය ලෝකය තුල භාෂාව නිර්වචනය වන්නේ අතීත නිරැක්තීන් තුල නොවේ. වර්ථමානයේ සංකල්පගත කරගෙන ඇති ආගම නම් වූ සංඥාව නිර්වචනය කෙරෙන්නේ  යුරෝපයේ ආරම්භවන නූතන යුගයත් සමගයි.

දැනුම හැම විටම සාපේක්ෂය. අප අතීතය හෝ අනාගතය පිලිබඳව නිර්මාණය කර ගන්නා බොහෝ සංකල්ප වර්ථමාන දැනුමට සාපේක්ෂ වෙයි. අප අතීතයේ පැවතුනායැයි විස්වාස කරන අගම් සහ වර්ථමානයේ පවතින ආගම් අතර බොහෝ වෙනස්කම් වෙයි. මේ වෙනස්කම් ඇත්තේ ආගමේ නම, ආගම් කතුවරැන්ගේ ඉගැන්වීම්, පොත්පත් වල පවතින ගාථා, අකුරැ, වචන ආදියේ නොවේ. නිරැක්තිය ඇත්තේ එම වචන, සංඥා සමග නිර්මාණය කරගන්නා සංකල්ප තුලයි. අප විසින් සකස්කර ගන්නා සංකල්ප තවත් බොහෝ සංකල්ප හා සංඥා ඇසුරෙන් නිර්වචනය කෙරෙන්නකි. මේ නිසා අපට කිසි විටෙක  අතීත ආගම්වල සැබෑ ස්වරෑපය වර්ථමානයේ සංකල්ප ගතකරගත නොහැක.  ආගම පමනක් නොව ඕනෑම සංකල්පීය දැනුමක ඇත්තේ වර්ථමාන, සංස්කෘතික අර්ථයකි. (කාල, අවකාශ)  සැබැවින්ම අතීත ආගම් කියා දෙයක් නැත.  ආගම නිර්වචනය කරගැනීමේ වැදගත්කම ඇත්තේද මේ නිසාමය. බුදු දහමට අනුව මෙය හඳුන්වන්නේ නිරැක්ති ඥාණය ලෙසයි.

1815 උඩරට ගිවිසුමේ බුදු දහම හෝ බෞද්ධ ආගම පිලිබඳව සඳහන් වන්නේ නැත.  එහි සදහන්වන්නේ බුද්ධ ශාසනය සහ දේවාගම රැක ගැනීම පිලිබඳවයි. එම යුගයේ දෙවියන් වහන්සේ නැති ආගමක් පිලිබඳව යුරෝපීයයන්ට අදහසක් නොවීය. (බෞද්ධ සහ හින්දු ආගම්වල දෙවිවරැන් පිලිබඳව සදහන් වුවත් ඔවුන් යුරෝපයේ මෙන් සර්වබලධාරී දෙවිවරැන් නොවේ) එසේම එම යුගයේ ලාංකිකයාද ආගම ලෙස හැඳින්වූයේ යුරෝපීය ආගම්,  මිස දේශීය ආගම් නොවේ. තවමත් සමහර ගැමියන් එයා අගමේ යැයි කියන්නේ මේ යුරෝපීය ආගම්වලටය. එසේ යුරෝපීය ආගම්, ආගම වූවා නම් අපට ආගමක් නොතිබුනේද? සැබැවින්ම අපටද ආගමක් තිබූ නමුත් නිර්වචනය වූ නිරැක්ති සහිත වර්ථමාන අර්ථයෙන් හැඳින්විය හැකි ආගමක් අපට තිබුනේ නැත. බුද්ධාගම යනු අතීත සංඥා ඇසුරෙන් වර්ථමාන නිරැක්තීන් තුල සංකල්පගත කරගත් ආගමකි.  බුද්ධාගම මෑත යුගයේ නිර්මාණයක් ලෙස අප සදහන් කරන්නේද මේ නිසයි. (පාලි ත්‍රිපිටකය පවා මෑත යුගයේ මුලින්ම පර්වර්ථනය වන්නේ සිංහල භාෂාවට නොව ඉංග්‍රීසි බසටයි. )

එසේනම් අප සැබෑ බුදු දහම  කුමක්ද? එය තේරැම් කරගන්නේ කෙසේද?  බුදු දහම විවිධ ආකාරයෙන් නිර්වචනය කර ගත හැකි බව සැබෑය. මෙහිදී  බොහෝ දෙනෙකු බුදු දහම නිර්වචනය කරන ජනප්‍රියම ආකාරය වන්නේ තවත් ආගමක් සමග සැසැදිමයි. යුරෝපීය ක්‍රිස්තියානි, කතෝලික, යුදෙව් ආදී ආගම් සමග මෙන්ම හින්දු, මුස්ලිම් ආදී ආගම් සමග බොහෝ දෙනෙකු බුදු දහම සැසැඳිමට උත්සාහ ගනී. නමුත් මෙමගින් නිර්වචනය වන්නේ බුදු දහම නොව බෞද්ධ වාර්ගික සීමාවන්ය.  තවත් පිරිසක්  විද්‍යයාව, දේශපාලණය, දර්ශනය ආදී විෂය ක්ෂේත්‍රයන් සමග බුදු දහම සසඳයි. එම විෂය ක්ෂේත්‍රයන් සංවර්ධනය වු බටහිර අත්මීය දේව ආගම් සම්බන්ඳයෙන් මෙය සාර්ථක විය හැකි වුවත් අනාත්මීය වූ  බුදු දහම සම්බන්ඳයෙන් මෙය එතරම් සාර්ථක උත්සාහයක් නොවේ. 

ආගම නම් වූ සංකල්පය නිර්වචනය කර ගත හැකි වන්නේ නිර්ආගම නැමැති සංකල්පයත් සමගයි. ලෝකයේ ඇත්තේ කෘත්‍යය හෙවත් කාර්‍යයන්ය.(ක්‍රියාවලීන්ය) ආගම යනු යම් නිශ්චිත වූ කාර්‍යයන් සමූහයකි. ආගම නිර්වචනය කර ගැනීම යනු එහි කාර්‍යයභාරයන් නිශ්චය කර ගැනීමයි. ආගමේ කාර්‍යන් නිශ්චය කර ගත හැකි වන්නේ ආගමට අයත් නොවන කාර්‍යයන් නිශ්චය කර ගැනීමෙනි. නිර්ආගම යනු මෙසේ ආගමට අයත් නොවන කාර්‍යන් සංකල්පගත කරගැනීමට ගන්නා උත්සාහයයි.

අප ආගම නූතන සංකල්පයක් සේ අප සඳහන් කරන්නේ මෑත ඉතිහාසයේ නිර්ආගම සංකල්පගත කරගැනීමට උත්සාහ ගත්තේ යුරෝපීයයන් වීම නිසයි. (බුදු දහමේ මෙය නිර්වචනය වී ඇත්තේ ඈත යුගයේය)  යුරෝපයේ චින්තන විප්ලවය ලෙස හදුන්වන්නේද මෙම ආගම සහ නිර්ආගම නිර්වචනය කර ගැනීමේ උත්සාහයයි. මෙම නිසා අපටද යුරෝපය මුල් කරගෙනම මේ සංවාදය ආරම්භ කිරීමට සිදුවීම වැලැක්විය නොහැකිය.

මිනිස් ශිෂ්ඨාචාරයේ ආරම්භයත් සමග බිහි වු ආගමික විස්වාසයන් වර්ථමානය වන විට යුග ගණනාවක් පසුකොට ඇත. මේ සියලු යුගයන් පිලිබඳව සොයා බැලීමේ  බලාපොරොත්තුවක් නැති අතර මේ පිලිබඳව ලියවුනු පතපොත ඕනෑතරම් ඇත. ප්‍රථමික වූ ගෝත්‍රික ආගම් අමතක කර ග්‍රීක හා රෝම යුග පසුකරන විට අපට හමු වන්නේ යුරෝපයේ අදුරැ යුගයයි. අඳුරැ යුගය උදාවන්නේ රෝමානු කතෝලික පල්ලිය රෝම අධිරාජ්‍යය ඉක්මවා බලවත් වීමෙනි. දෙවියන්ගේ පුත්‍රයා ලෙස පෙනී සිටි ක්‍රිස්තුස් වහන්සේ රෝම අධිරාජ්‍යයට එරෙහිව නැගී සිටීම නොඉවසු පාලකයන් එතුමා කුරැසයේ ඇන ගසා මරා දැමූ නමුත් අවසානයේ අධිරාජ්‍යයේ නිල ආගම බවට කතෝලික ආගම පත්වූ අතර රාජ නීතියට වඩා දේව නීතිය බලවත් නීතිය වීය.

මේ යුගයේ විශේෂ ලක්ෂණය වන්නේ සියල්ල ආගම බවට පත්වීමයි. සියලු පෞද්ගලික සහ සාමූහික මනුෂ්‍යය,කාර්‍යයන්, ක්‍රියාකාරකම් තීරනය කරන නියාමන බලවේගය වන්නේ ආගමයි.  මිනිසාගේ උපතේ සිට මරනය දක්වා වූ සියලු සිදුවීම් ආගමට අනුකූලව නිර්වචනය විය. සර්වබලධාරී දෙවියන් සියල්ලේම නිර්මාපකයා වූ අතර පල්ලිය දෙවියන්ගේ නියාමක අධිකාරය විය. ක්‍රියාකාරකම්, වචන පමනක් නොව සිතුම් පැතුම්, ආශාවන් පවා නියාමනය වන්නේ ආගමෙනි. ආගමෙන් පිටත සිටිය හැකි වූ එකම බලවේගය වන්නේ මිත්‍යයා දෘෂ්ඨික සාතන් නැමති යක්ෂයයා පමනි.

මේ අඳුර යුගය පිලිබඳව යුරෝපා ඉතිහාසයේ මැනවින් සටහන් වී ඇත. ආගම නිර්වචනය නොවූ, සියල්ලම ආගම බවට පත්ව තිබූ මේ යුගය අතිශය මිලෙච්ඡ යුගයකි. පල්ලියේ ඉගැන්වීම් වලට අනුකූල නොවූ ක්‍රියාකාරකම්, අදහස් හෝ විස්වාසයන්  සාතන්ගේ මිත්‍යයා දෘෂ්ඨින් ලෙස හඳුන්වා ඉතා බිහිසුන් ලෙස මර්ධනයට ලක්විය. විවිධ ගෝත්‍රික, ප්‍රදේශීය විස්වාස, ඇදහිලි, සිරිත් විරිත් සහිත වූවන් ගම් පිටින්ම පුලුස්සා දමන ලදී. කුරැස යුද්ධ ලෙස හැඳින්වූ වෙනත් ආගමිකයන් ඇදහූ පිරිස් සමග ගෙන ගිය ශුද්ධ වූ යුද්ධයන් මිනිස් ජීවිතයක වටිනාකම තිරනය කරන සාධකය විය. පූජකයන් මෙන්ම පාලකයන්ද ජනතාව තලා, පෙලා නෙලාගත් සාරය ඔස්සේ සුඛොපභෝගී ජීවිත ගත කලේය. නූතන යුගය බිහි වන්නේ මේ මිලෙච්ඡ යුගයේ සාපයෙන් ගැලවීමේ අරගලයක් ලෙසයි.

පුනරැද යුගය ආරම්භ වන්නේ පල්ලියේ මේ කෘර අධිපත්‍යයට එරෙහිව පැන නැගුනු චින්තන විප්ලවයත් සමගයි. දෙවියන්ගේ එකම නියෝජිතයා වූ කතොලික පල්ලියට එරෙහිව ආරම්භ වූ  පොතෙස්තන්ත ආගමික ව්‍යයාපාරය දෙවියන්ට එරෙහි වූ ව්‍යයාපාරයක් නොවීය. මොවුන්ගේ අදහස වූයේ දෙවියන්ගේ එකම නියෝජිතයා රෝමානු කතෝලික පල්ලිය පමනක් නොවන බවයි. මනුෂ්‍යයාට දෙවියන් හා සම්බන්ඳ වීමට අතරමැදියෙකු අවශ්‍යය නොවන  බව ඔවුන්ගේ අදහස විය. සියවස් ගණනාවක් තුල සිදුවූ මේ අරගලයන් ඔස්සේ කතෝලික පල්ලියේ තිබුනු අධිපත්‍යය බිඳ වැටුනු අතර විවිධ ආගමික පාර්ශව ගණනාවක් බිහිවිය. මේ ඔස්සේ කෙරැන වැදගත්ම කාර්‍යය, චින්තන විප්ලවය නම් වූ ආගම සහ දේශපාලනය අතර වෙනස නිර්වචනය කර ගැනීමට හැකිවිමයි. මිනිසාගේ ලෞකික අධිකාරී බලය රාජ්‍යය සතු වන්නේ මේ අනුවයි.

නූතන ආගම යන සංකල්පය නිර්වචනය වන්නේ මේ යුගයටත් පසුවය. මීලඟ සටහනෙන් ඒ ගැන සොයා බලමු.

චමිල් විතාන

මූලාශ්‍ර- 1815 උඩරට ගිවිසුම



Jun 4, 2016

හේතුව- ථලය සහ නලින් ද සිල්වාගේ අහේතුව

මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව සුවිශාල පිමිමක් එක්වර පනින්නේ  භාෂාව නම් වූ විධිමත් සංඥා පද්දතියක් නිර්මාණය කර ගැනීමෙනි. මේ දක්ෂතාවය නිසා මිනිසාට ජෛවීය ලෙස හිමිවූ සංකල්පීය දැනුම නිර්මාණය කර ගැනීමේ හැකියාව( ඥාණය) මෙන්ම එම දැනුම පවත්වාගෙන යාමේද සුවිශාල පරිවර්තනයක් සිදුවිය. විශාල සංකල්ප ප්‍රමානයක්  භාෂා සංඥාමත රැස්කරගත හැකිවීම මෙයට හේතුවයි. මේ නිසා සංඥාවන් අතර වන සබඳතාවයන් (වෙනස්කම්/ සමානකම්) පහසුවෙන් හඳුනා ගැනීමට මිනිසාට හැකි වූ අතරම නව සබඳතාවයන් නිර්මාණය කිරීමේ නිර්මාණශීලි බවක්ද මිනිසාට උරැම විය. වසර මිලියන ගණනාවක් වූ සත්ව පරිනාමයේ කාලයෙන් අංශු මාත්‍ර වන වසර දස දහසක පමන වන අප දන්නා ඉතිහාසය තුල මිනිසා පැන ඇති සුවිසල් පිම්මට හේතුව  විධිමත් භාෂා නිර්මාණය කර ගැනීමයි.

භාෂා සංඥා මත  දෙයාකාරයක සංකල්ප සකස් කර ගත හැකිය. පලමුවැන්න ලක්ෂණ පිලිබඳ සංකල්ප ලෙස නම් කරගත හැකි අතර දෙවැන්න කෘත්‍යය හෙවත් කාර්‍යය  පිලිබද සංකල්ප ලෙස දැක්විය හැක. මේ කාර්‍යයන් එකිනෙකට සම්බන්ද කර කාර්‍යයාවලියක්, ක්‍රියාවලියක් ලෙස අාකෘති නිර්මාණය කර ගැනීමේ  හැකියාවක්ද මිනිසාට ඇත. නලින් මහතා  'මගේ ලෝකයෙහි' ක්‍රියාවලීන් පිලිබඳ සංකල්පය නිර්මාණය කර ගන්නේද මේ ඇසුරෙනි.

ලක්ෂණ යනු පංචේන්ද්‍රියට ගෝචරවන සංජායන ඇසුරෙන් නිර්මාණය කර ගන්නා මූලික සංකල්පයන්ය. මේවා බොහෝ විට වර්ණය, හැඩය, ප්‍රමාණය ආදියට අදාලවන සංකල්පයන්ය. අප ද්‍රව්‍යය හෝ වස්තූන් ලෙස නම් කර ගන්නේද මේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඇසුරෙන් සකස් කරගත් සංඥාවන්ය.  කාර්‍යය පිලිබඳ සංකල්ප යනු යම් කාර්‍යයක්, චලනයක් හෝ වෙනස්වීමක් පිලිබඳ හැඟවීමක් කරන සංකල්පයන්ය. මෙයින් ද්‍රව්‍යය හෝ වස්තූන් ලෙස නම් කරගත් සංඥාවන්හි වෙනස්වීම් නම් කර ගනී. උදාහරනයට 'අඹ ගස' නම් වූ සංඥාව ගත්විට එහි කඳ, මුල්, කොල, අතු ආදියෙහි හැඩය, වර්ණය, ප්‍රමාණය ආදී ලක්ෂණ මෙන්ම වැඩීම, මල් පිපීම, ගෙඩි හට ගැනීම ආදී කාර්‍යයන් පිලිබඳ දැනුමක්ද  අඹ ගස ගැන අපට ඇත. බොහෝ දෙනෙකු වරදවා ගන්නේ සංඥා හෝ සංකල්ප  යනු ලක්ෂණ  පමනක් බවයි.  දැනුමේ ඇති වැදගත්කම තීරනය වන්නේ ලක්ෂණ මත නොව කාර්‍යය ලෙස ලැබෙන උපයොගීතාවයි.

නලින්ද සිල්වා මහතා සාධාරනීකරනය කරන ලද වියුක්ත සංකල්පයක් ලෙස දක්වන 'ලක්ෂය' නම් වූ ඉන්ද්‍රිය ගෝචර නොවන නමුත් සිතෙන් සිතා ගත හැකි වියුක්ත සංකල්පය පිලිබඳව සොයා බලමු. එය අවකාශයේ ඉඩක් ගන්නා තැනක් හෝ ස්ථානයකි. එම ස්ථානීය හැඟවුමෙහි ලක්ෂණ පිලිබඳ සංකල්පයන් මෙන්ම කාර්‍යය පිලිබඳ සංකල්පයන්ද ඇත. මෙහිදී ලක්ෂණ ලෙස ගනු ලබන හැඩය හා ප්‍රමාණය ආදී ලක්ෂණ ඉවත්කරගත් විට ලැබෙන්නේ (සමානකම් සෙවීමෙන් සාධාරනීකරනය කරලද)  ලක්ෂය නම් වූ සංඥාවකි. මෙයින් එහි ඇති කාර්‍යය පිලිබඳ සංකල්පය පමනක් ඉතිරි වෙයි.එහි අදහස එයින් අපේක්ෂිත කාර්‍යයක්(චේතනාවක්) ඇති බවයි. ලක්ෂ දෙකක් යා කරමින් ලැබෙන සරල රේඛාවද මෙසේ ලක්ෂණ ඉවත්කර ගත් යම් කිසි කාර්‍යයක් වෙනුවෙන් සකස්කරගත් සංකල්පයකි.

අපට යමක් පංචේන්ද්‍රිය ඇසුරෙන් හෝ මතකයෙන් (මනසින්) සිතා ගත හැක්කේ එහි ඇති රෑප ලක්ෂණ ඇසුරෙනි. වෙනස්වීමක්, කාර්‍යයක් සිතෙන් සිතා ගැනීමට නම් එය යම් රෑප ලක්ෂණයක් සමඟ සම්බන්ද විය යුතුය. වැටීම යන කාර්‍යය (වෙනස්වීම, චලනය) සිතෙන් සිතා ගත හැක්කේ අඹ, පොල් හෝ ඇපල් වැනි රැප ලක්ෂණයක් හා සම්බන්ද කිරීමෙනි.  නලින්ද සිල්වා මහතාට ප්‍රශ්ණයක්ව ඇත්තේ  සිතෙන් සිතා ගත නොහැකි මේ කාර්‍යය පිලිබදව දැනුම සාධාරනීකරනය කිරීම බවට සැකයක් නැත.

කිව යුතු වැදගත්ම කරැනක්නම් දැනුම සාධාරණීකරනය  බටහිර විද්‍යයවේ පමනක් කෙරෙන උද්ගාමී තර්කයක් පමනක්ම නොවන බවයි. විද්‍යාවේ කෙරෙන්නේ මෙය විධිමත්ව සංකල්පගත කිරීමයි.  මිනිස් සිතේ අත්දැකීම් ඇසුරෙන් දැනුම සාධාරණීකරනය නිරායාසයෙන්ම  සිදුවෙයි.ඉගෙනීම, අධ්‍යාපනය හෝ වෙනත් ක්ෂේත්‍රයක ලබන ශික්ෂණය යනු මෙයයි. විශේෂීකරනය කරන ලද සංකල්ප සහ සාධාරනීකරනය කරන ලද සංකල්ප අතර ඇති වෙනස නම් එහි ඇති පුද්ගල බද්ධ වූ අරමුණු සහ ආශාවන්ය. කුඩා දරැවන් තමන්ගේ දෙමව්පියන්, සෙල්ලම් බඩු ආදීය විශේෂිතව, තමන්ගේම කෙටසක් ලෙස සලකන්නේ මේ නිසයි.  නමුත්  පුද්ගලයෙකු පරිනත වනවිට,තමන් ලබන අත්දැකීම් ඇසුරෙන් දැනුමේ  ඇති පොදුබව,  සාධාරනීකරනය වන බව අත්දැකීමෙන්ම වටහා ගනී. බොහෝ වයසක උදවිය 'මරණය' පවා වියුක්ත  සේ දකින්නේ (මරණය ගැන බිය නොවන්නේ) මේ නිසයි. මේ මැනීම, සැසඳිම සම්පූර්නයෙන්ම අවසන්වන්නේ අනාගාමී මාර්ගථල ලබන විට ‘මානය’ නම් වූ සංයෝජනය දුරැ කිරීමෙන් බව බුදු දහමේ දැක්වෙයි.

ලෝකය පිලිබඳව ඇති සැබැ ගැටලුව වන්නේ  ලක්ෂණ ලෙස  ඉන්ද්‍රියන්ට ගෝචර නොවන නමුත් යම් යම් කාර්‍යයන් සිදුවෙන (බව දැනෙන) ක්‍රියාවලීන්ද ලෝකයේ පැවතීමයි. පංචේන්ද්‍රියට  ගෝචර වන්නේ මේ සිදුවීම් වල ප්‍රථිපලයන් පමනි. මේ ප්‍රථිපල වලට හේතුව සොයා නොගෙන ඒ ක්‍රියාවලීන් පිලිබඳව අවබෝධකර ගැනීමට  නොහැකිය. උදාහරනයකට වැසි වැටීම ඉන්ද්‍රිය ගෝචර වන නමුත් එයට හේතුව, වැසි වැටෙන්නේ කෙසේද යන්න ඉන්ද්‍රිය ගෝචර නැත. මෙවැනි තවත් ඉන්ද්‍රිය ගෝචර නොවන හේතු අන්න්ත අප්‍රමානව ඇත. උදේට හිරැ උදාවී හවසට බැස යාමට හේතුව, කෙනෙක් ලස්සන වී තවෙකෙකු අවලස්සන වීමට හේතුව, ඇපල් බිමට වැටීමට හේතුව, මිනිසාගේ දුකට හේතුව උදාහරන කීපයක් පමනි.

සැබැවින්ම වැසි වැටීමට හේතුව පමනක් නොව (වැසි) වැටීම පවා පංචේන්ද්‍රියට ගෝචර නැත. ඇසට ගෝචර වන්නේ වැහි බිදුවක (හෝ කීපයක) ඇසට පෙනෙන අවස්ථා දෙකක (හෝ කීපයක) පිහිටීමකි. මේ පිහිටීම අනුව සිදුවන වෙනසට 'වැස්ස' හෝ 'වැසි වැටීම' ලෙස අප විසින් නම් කර ගනිමු. එම 'වැටීම' ද අවස්ථා දෙකක සිදුවන වෙනස් වීමට හේතුවක් මිස ඉන්ද්‍රිය ගෝචර දැනුමක් නොවේ. ලෝකයේ යථා ස්වභාවය වන 'වෙනස්වීම' පංචේන්ද්‍රියට, මනසට හෝ වෙනත් කිසිදු ඉන්ද්‍රියකට ගෝචර වන්නක් නොවේ. පංචේන්ද්‍රියට ගෝචරවන්නේ වෙනස්වීමේ හේතුවෙහි ථලයක් ලෙස සිදුවන රෑප ලක්ෂණයන්හි ඇතිවන වෙනස්වීමයි.

ලෝකය යනු අනවරතව සිදුවන වෙනස්වීමේ ක්‍රියාවලියකි. මේ වෙනස්වීම සිදුවන්නේ කෙසේදැයි තේරැම් ගැනීම ඉතා දුෂ්කරය. එසේ යම් වෙනස්වීමක් සිදුවන බව ඉන්ද්‍රියන්ට ගෝචර වන නමුත් හේතුව ඉන්ද්‍රිය ගෝචර නැත. මේ නිසා මේ නොපෙනෙන සිදුවීම් වල හේතුකාරකයෙක්, යම් කිසි නොපෙනෙන, වියුක්ත සංසිද්ධියක් ඇති බව මිනිසුන් බොහෝ කාලයක්  විස්වාසය කලේය. බොහෝ අයගේ  අදහස වූයේ මෙය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ ක්‍රියාවක් බවයි.  සර්ව බලධාරී අඩු වැඩි වන වියුක්ත දෙවිවරැන් පහල වූයේ මේ කාර්‍යය සදහාය. ලක්ෂණ යනු ඇදහීම උදෙසාම පසුව නිර්මාණය කර ගත් සංකල්පයන්ය. උදාහරනයට ඉන්දියානු වේද ග්‍රන්ථවල සඳහන්වන බ්‍රහ්ම සංකල්පය සිතෙන් සිතාගත නොහැකි, සියලු කාර්‍යයන්ට හේතුකාරකයා වන  අතිශය වියුක්ත සංකල්පයකි. බ්‍රහ්මයාගේ ලක්ෂණ නැති අතර ඇත්තේ කාර්‍යයන් පමනි. නමුත් පසු කාලයේ විශ්නු ත්‍රිමූර්තිය ලෙස මේ දේව සංකල්පය නොයෙකුත් රෑපී ලක්ෂණ එක්කරගනිමින් සිතෙන් සිතා ගතහැකි තත්වය පත්විය. එසේම පරන බයිබලයේ අතිශය වියුක්ත, රෑප ලක්ෂණ නැති  යුදෙව් දෙවියන් අලුත් බයිබලයේ සිතෙන් සිතාගත හැකි දෙවියෙකු විය. මේවා පෙර, අපර දිග තිබූ මහා චින්තන වෙනස්කම් නොව ශිෂ්ඨාචාරයන් විකාශණය වීමේදී සාමූහිකව මුහුන දෙන පොදු අභියෝග හමුවේ මිනිසා දැක්වූ සමාන ප්‍රථිචාරයන්ය.

ඉන්දියානු කර්ම  සංකල්පය  වඩා දියුනු සංකල්පයකි. එය  හේතු කාරකයෙක්  නොව වියුක්ත ස්වයං ක්‍රියා කාරීත්වයකි. බුදුන් වහන්සේ මෙය වඩා විස්තීර්නව පැහැදිලි කලේය. සියල්ල කර්මය නිසා සිදුවන බව උන්වහන්සේ පිලි ගත්තේ නැත. ඝෘතු නියාම, බීජ නියාම, කම්ම නියාම,ධම්ම නියාම, චිත්ත නියාම අදී නියාම ධර්ම අතර කර්ම නියාමයද එක් නියාමයක් පමනක් බව බුදුන් වහන්සේ පැහැදිලිව පැවසූහ. මේ නියාම ධර්මයන්ද  වියුක්ත සංකල්ප,  සිතෙන් පවා සිතාගත නොහැකි  සංකල්පයෝ වෙති. ඒවායෙහිද ලක්ෂණ නැති අතර ඇත්තේ කාර්‍යයන් පමනි.

නූතන විද්‍යයාවෙන් කරන්නේද  මෙයට වඩා වෙනස් කාර්‍යයක් නොවේ. අතීතයේ  වියුක්ත දෙවියෙකුට හෝ නියාම ධර්මයකට භාර දුන් මේ හේතුව  යම් නිෂ්චිත සංසිද්ධියක්  ලෙස ආකෘති ගත කිරීම විද්‍යයවෙන් කරනු ලබයි. මේ  ආකෘතින් ද  වියුක්ත සංකල්ප හෝ ප්‍රවාද වීම බටහිර විද්‍යයාවේ  අඩුවක් නොව මානවයාගේ දැනුම නිර්මාණයේ පවතින නිසඟ ස්වභාවයයි.  පැවැත්ම උදෙසා දැනුම සොයා යාමේදී මෙම නියාම ධර්මයන්ම විද්‍යයාවක් ලෙස ගවේශනය හැර වෙනත් විකල්පයන් මිනිසාට නැත.

නලින්ද සිල්වා මහතා පට්ටපල් බොරැයැයි පවසන්නේ මේ වියුක්ත ප්‍රවාද වලට බව සැකයක් නැත. ප්‍රවාදයක් යනු යම් සංසිද්ධියක් පැහැදිලි කිරීමට හේතු -ථල ක්‍රියාවලියක් ලෙස ආකෘතිගත කල සංකල්ප පද්දතියකි. මෙහිදී ථලය ඉන්ද්‍රිය ගොචර වීමත් හේතුව ඉන්ද්‍රිය ගෝචර නොවීමත් මිනිස්  සිතේ දැනුම නිර්මාණයේ ස්වභාවයකි.

“ප්‍රත්‍යක්‌ෂ නො වන වක්‍ර දැනුම් යනු වියුක්‌ත සංකල්ප, ප්‍රවාද ආදිය යොදාගෙන නිර්මාණය කෙරෙන දැනුම් ය. සෘජු ප්‍රත්‍යක්‌ෂ දැනුම් තේරුම් කර දීම සඳහා මේ වියුක්‌ත කතන්දර නිර්මාණය කෙරෙයි. මේ කතන්දර හුදෙක්‌ හිතළු ය. ඒ හිතළුවලින් ලබාගන්නා නිගමන නැවතත් සංයුක්‌ත සෘජු ප්‍රත්‍යක්‌ෂ සංසන්දනය කර යම් සාර්ථකත්වයක්‌ පෙන්වන හිතළුවලට ප්‍රවාද යෑයි කියනු ලැබේ. මේ හිතළු ප්‍රත්‍යක්‌ෂවලටත් වඩා බොරු ය. එබැවින් ඒවාට පට්‌ටපල් බොරු යෑයි කියමු.”

“බටහිර විද්‍යාවේ කෙරෙන ප්‍රධාන වරදක්‌ නම් වියුක්‌ත ප්‍රවාදවලින් නිගමනය කෙරෙන කරුණු සංයුක්‌ත ප්‍රත්‍යක්‌ෂ සමග සංසන්දනය කිරීම ය. එයට අමතරව ඌනිතවාදය, උද්ගමනය, සාධාරණීකරණය ආදී සංයුක්‌තයට පිටින් යන කරුණු ද වෙයි. ඒ සියල්ල පට්‌ටපල් බොරු වෙයි. "( 18/03/2015 දින විදුසර පුවත්පත)

නලින් සිල්වා මහතාගේ අදහස වන්නේ මේ හේතුව පිලිබඳ දැනුම සිතට ඉබේ පහල වන බවයි. දුක හට ගන්නේ පංචේද්‍රිය හෝ මනස ඇසුරෙන් හටගන්නාවූ සංකල්පීය දැනුම නිසා බව අවබෝධ කර ගත් බුදුන් වහන්සේ කලේ මේ දුකට හේතුව සොයා (තන්හාව) එම හේතුව නැතිකර දැමීමයි. හේතුව සොයා නොගෙන, අවබෝධ කර නොගෙන දුක නැති කර ගත නොහැක. පටිච්ඡ සමුප්පාදය යනු හේතු ථල ක්‍රියාවලියක් ලෙස අවිද්‍යයාව හේතුවෙන් දුක, දැනුම නිර්මාණය වන ආකාරය පැහැදිලි කරන ප්‍රවාදයකි. එම ප්‍රවාදයද සත්‍යය බව අවබෝධකරගත හැකි වන්නේ ප්‍රත්‍යයක්ෂ ලෙස ඉන්ද්‍රය ඥාණයෙනි.

ඉන්ද්‍රිය දැනුම (ප්‍රත්‍යයක්ෂ)  මෙන්ම හේතුව (විචාරය) පිලිබඳ දැනුමද දැනුම නිර්මාණයේදී එක ලෙස වැදගත්ය. දැනුමේ වැදගත්කම වන්නේ එයින් අපේක්ෂිත කාර්‍යයි. කාර්‍ය්‍ය හඳුනාගැනීම සඳහා උපකාර වන්නේ ඉන්ද්‍රිය ඇසුරෙන් අරමුණෙහි ලක්ෂණ ග්‍රහනය කරගැනීමයි. මේ ලක්ෂණ වල වෙනස්වීම් වල හේතුව කාර්‍යයක් ලෙස හඳුනාගත් විට මී ලඟ පියවර වන්නේ එම කාර්‍යය සිදුවීමට හේතුවයි. විචාරය මිස මිනිසාට දැනුම සොයා යාමට වෙනත් විධික්‍රමයක් නැත. බුදු දහමේ, විද්‍යයාවේ මෙන්ම වෙනත් ඕනෑම දැනුම් පද්දතියක මේ සදහා ඇති එකම මාර්ගය මෙයයි.

නලින්ද සිල්වා මහතා වියුක්ත සංකල්ප ලෙස මෙසේ ප්‍රථික්ෂේප කරන්නේ හේතුව පිලිබඳ ඥාණය බව නොකීමට තරම් ප්‍රවේශම් සහගත වෙයි. බටහිර දර්ශණයේ ඉන්ද්‍රිය අනුභූතක ඥාණය සහ හේතුව, විචාර ඥාණය පිලිබඳ විසංවාද ඇතත් බුදු දහමේ මේ ගැන විසංවාදක් නැත. බුදු දහම සහ විද්‍යයාවෙහි වෙනස එකිනෙක අරමුණු අතර මිස විධික්‍රමයක් ලෙස නොවේ. විද්‍යයාව දැනුම නිර්මාණය තම අරමුණ කර ගන්නා විට බුදු දහම දැනුම අතහැරීම තම අරමුණ කර ගනී. අරමුණ කුමක් වුවත් මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය, දැනුම සකස්වන ආකාරය වෙනස්වන්නේ නැත. විවිධ දාර්ශනික මතවාද ඇතිවන්නේ මේ දැනුම නිර්මාණය වීමේ ක්‍රියාවලිය පවතින වෙනස්කම නිසා නොව අරමුෙනහි, චේතනාවෙහි පවතින වෙනස්කම් නිසයි.

ලංකාවේ ථේරවාදී බුදු සමයට මෙය අලුත් ප්‍රශ්ණයක්ද නොවේ. ඔවුන් මෙය විසඳාගෙන ඇත්තේ සම්මුති සත්‍යය සහ පරමාර්ථ සත්‍යය ලෙස ධර්මය බෙදා වෙන්කර ගැනීමෙනි. මේවාද සත්‍යයන් මිස බොරැ හෝ පට්ටපල් බොරැ නොවේ. මෙයට හේතු වන්නට ඇත්තේද දුර්වල  පුද්ගලයන් හේතුවක් නැතැයි නාස්තික දෘෂ්ටියකට වැටීමෙන් වැලක්වීමයි. පැවැත්ම අතහැරීම සදහා දැනුම පිලිබඳව පවත්නා විස්වාසය අවශ්‍යය නොවූවත් යහපත් සමාජ පැවැත්මක් උදෙසා දැනුම කෙරෙහි පවතින විස්වාසය අත්‍යයවශ්‍යය වෙයි. බුදුන් වහන්සේ මෙවැනි අඥාණ ක්‍රියාවන් හඳුන්වා ඇත්තේ සර්පයෙකු වලිගයෙන් අල්ලා ගැනීමක් ලෙසයි.