Feb 13, 2016

බුදු දහම ඔලුවෙන් සිටවූ නලින්ද සිල්වාගේ බෞද්ධ චින්තනය-2- මිත්‍යයා දෘෂ්ඨිය

නලින් ද සිල්වා මහතා වියුක්ත සහ සංයුක්ත ලෙස සංකල්පීය දැනුම බෙදා ගනිමින් බොරැ සහ පට්ටපල් බොරැ ලෙස කරන ඇගයීම බෞද්ධ දර්ශනයේ පදනම සම්පූර්නයෙන් විකෘති කරන බව පෙර ලිපියෙන් අප පෙන්වා දී ඇත. දශක ගණනාවක් තිස්සේ බෞද්ධ මතවාදයක් ලෙස යම් අදහසක් සමාජගත කිරීමට උත්සාහ දැරෑ වියතෙකු ලෙස එතුමා ඉදිරිපත් කර ඇති අදහසක් විවේචනය කිරීමට පෙර වෙනත් මාර්ග ඔස්සේද එම අදහස තහවරැකර ගැනීම අප සතු යුතුකමකි. 

දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය යන චතුර්‍යය සත්‍යය ධර්මය බුදු දහමේ මූලිකම පදනමයි. බෞද්ධයා යනු දුක නැති කිරීමේ මාර්ගය හෙවත් ආර්‍යය අශ්ඨාංගික මාර්ගය අනුගමනය කරන්නෙකි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ලෙස දැක්වෙන්නේ මේ අර්‍යය අශ්ඨාංගික මාර්ගයෙහි අංග අටයි. මෙහි වාචා, කම්මන්ත, ආජීව යන අංග සීලය ලෙසත්, වායාම, සති, සාමාධි අංග සමාධිය ලෙසත්, දිට්ඨි සහ සංකප්ප යන අංග ප්‍රඥාව ලෙසත් ගෙන ත්‍රි ශික්ෂාව ලෙස හදුන්වයි. බෞද්ධයා යනු සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්ෂාව වඩන්නෙකි.

සීලය, පං සිල්, අට සිල්, දස සිල්, අජීවක අශ්ඨමක සිල්, ප්‍රථිමෝක්ෂ සංවර සිල් ආදී වශයෙන්  විවිධාකාර ලෙස වර්ගීකරනය කර ඇතත් මෙහිදී අපේක්ෂිත අරමුණ වන්නේ පංචේන්ද්‍රියෙහි ඇති කර ගන්නා කාය සංවරයයි. මෙය පංචේන්‍ද්‍රිය ඇසුරෙන් ඇතිවෙන සංකල්පයන් වැලකී සිටිමට ගන්නා උත්සාහයකි.  සමාධිය යනු ඉන්ද්‍රිය සංවරය, කාය විවේකය ඇතිව  සිත සංවර කර ගැනීමට කරන උත්සාහයයි. එනම් චිත්ත විවේකයයි. මෙයට පෙර විස්තර කර ඇති අශ්ඨ සමාපත්ති ධ්‍යයාන මෙයට අයත්ය. 

ප්‍රඥාව යනු සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප යන අංග දෙකයි. සම්මා දිට්ඨිය ලෙස හඳුන්වන්නේ කුසලයත්, කුසල් මූලයත්, අකුසලයත්, අකුසල් මූලයත් පිලිබඳව ඇති ඇගයීමයි. (සම්මා දිට්ඨි සූත්‍රය-මජ්ජිම නිකාය) මෙහි අකුසල් යනු සතුන් මැරීම, සොරකම, කාම සේවනය, බොරැකීම ආදී දස අකුසල් වන අතර කුසල් යනු මේ අකුසල් වලින් මිදී ඇති කරගන්නා  ඉන්ද්‍රිය සංවරයයි. (කාය විවේකය) කුසල් මූලයන් සහ අකුසල් මූලයන් යනු මේ ක්‍රියාකාරකම් වලට හේතුවන ලෝභ, ද්වේශ, මෝහ ආදී මූලික හැඟීම්ය. මේ අනුව සම්මා දිට්ඨිය යනු කුසල්, අකුසල් හට ගැනීමට හේතුවන මූලයන් ඇගයීමෙන් මේ අතර පවතින වෙනස්කම් සහ සමානකම් සැසඳීමයි (විතක්ක,විචාර). සම්මා සංකප්ප යනු මේ සැසඳීමෙන් ඇතිකරගන්නා ඇගයීමට අනුව සිතෙහි ඇත්වන සංකල්පයන් යහපත් හෝ අයහපත් ලෙස වෙන්කර ගැනීමට ඇති හැකියාවයි. කාම හා වය්‍යාපාද සංකල්ප මිත්‍යයා සංකල්ප ලෙසත්, නෙක්කම්ම සහ අවිහිංසා සංකල්ප සම්මා සංකල්ප ලෙසත් හඳුනාගත හැකිවන්නේ මේ හැකියාවෙනි.

නලින්ද සිල්වා මහතා සංයුක්ත සංකල්ප සහ වියුක්ත සංකල්ප ලෙස කරන ඇගයීම සම්මා සංකල්පයන්ද, මිත්‍යයා සංකල්පයන්දැයි දැන් අපට සොයා බැලිය හැක. එතුමා වියුක්ත සංකල්ප ලෙස හදුන්වන පට්ටපල් බොරැවලට වඩා සංයුක්ත සංකල්ප ලෙස හදුන්වන බොරැ වඩා යහපත් බොරැය. මේ වඩා යහපත් බොරැ සංකල්ප (සංයුක්ත සංකල්ප) නිර්මාණය කර ගැනෙන්නේ පංචේන්ද්‍රිය සහ මනස මුල්කරගෙනයි. කාම සංකල්ප සහ ව්‍යාපාද සංකල්ප ඇතිවන්නේ පංචේන්දිය ඇසුරැ කර ගනිමින් නිර්මාණය කරගන්නා විශේෂීකරනය කරන අරමුනු කෙරෙහි වන අතර නෙක්කම්ම (කාමයන්ගෙන් මිදීම) සංකල්ප සහ අවිහිංසා සංකල්ප (ව්‍යයාපාදයෙන් මිදීම) ඇතිවන්නේ ඉන්ද්‍රය සංවරයෙනි. ඉන්ද්‍රය සංවරය නැති කරන සංකලපීය දැනුම බොරැ ලෙසත් ඉන්ද්‍රය සංවරය ඇතිකරන දැනුම පට්ටපල් බොරැ ලෙසත් ඇගයීම බුදු දහමට අනුව නම් සැලකිය යුතු වන්නේ මිත්‍යයා දෘෂ්ඨික් ලෙසයි. ඒ අකුසල් වලට හේතුවන, පංචේන්ද්‍රිය ඇසුරෙන් ඇතිවන කාම සංකල්ප එනම් සංයුක්ත සංකල්ප වඩා යහපත් (බොරැ) ලෙස දැකීමත්, ඉන්ද්‍රිය සංවරය ඇතිකරන කුසලයට හේතුවන රැප සහ අරෑප සංකල්ප වඩා අයහපත් (පට්පල් බොරැ), වියුක්ත සංකල්ප ලෙස දැකීමත් නිසයි. 

නලින්ද සිල්වා මහතා මිත්‍යයා දෘෂ්ඨිකයෙකු ලෙස සඳහන් කිරීම අපේ කැමැත්තක් නැත. නමුත් සීලය, සමාධිය සහ ප්‍රඥාව ත්‍රි ශික්ෂාව වියුක්ත සංකල්ප ඇසුරෙන් ලබන ශික්ෂනයකි. ත්‍රි ශික්ෂාව පිලි නොගන්නා අයෙකු බෞද්ධයෙකු විය හැක්කේ කෙසේදැයි මම නොදනිමි. එවැන්නෙකුට බෞද්ධයෙකු වීමට අවශ්‍යය නම් සංයුක්ත සංකල්ප වලට වඩා වියුක්ත සංකල්ප වඩා යහපත් බව පිලිගැනීමට සිදුවෙයි. එවිට නලින්ද සිල්වා මහතා වියුක්ත සහ සංයුක්ත ලෙස බෙදීමට ගන්නා දේශපාලන උත්සාහයට සිදුවන්නේ කුමක්දැයි තේරැම්ගැනීම නලින්ද සිල්වා මහතාටම බාරකරමු. ඒ සඳහා චතුෂ්කෝඨික තර්ක අවශ්‍යය නැතිබව නම් සහතිකය. බෞද්ධ දර්ශණයේ  පදනම වන්නේ මධ්‍යයම ප්‍රථිපදාවයි. එහි අන්තවාදී මතවාදවලට ඉඩක් නැති බව නම් අවධාරනය කල යුතුය.

එතුමා සිංහල බුදුදහම බුදුන් වහන්සේගේ බුදුදහම නොවන බව වරක් පවසා තිබුනු බව මතකය. (මේ අදහස එතුමා පවසා තිබුනේ කොහේදැයි මතක නැතත් මමද එ් අදහස පිලිගනිමි)  නමුත් බුදුන් වහන්සේටත් වඩා චින්තකයෙකු බෞද්ධයන්ට සිටිය හැකියැයි මම නොසිතමි. සිංහල බුදුදහම  බුදුන් වහන්සේගේ ධර්මයට එකඟ නොවේ නම් කල යුතු වන්නේ ධර්මයට අනුව එය නිවැරදි කර ගැනීම මිස වැරැද්දට අනුව ධර්මය විකෘතිකර ගැනීමනම් නොවේ.

සිංහල ජාතිය බුදු දහමින් පෝෂනය වූ ජාතියක් බව මගේද විස්වාසයයි. බුදු දහම ඉතා විශිෂ්ඨ වියුක්ත සංකල්ප සහ ප්‍රවාද නිර්මාණය කල දර්ශනයකි. ලෝකයේ ඇති අපූරැම වියුක්ත සංකල්පය සේ මා දකින්නේද නිවන නම් වූ සංකල්පයයි. (සැබැවින්ම නිවන සංකල්පයක් නොවුනත් අපට එය සංකල්පයකි) කර්මය, නියාම ධර්ම, ශූන්‍යයතාවය, රෑප, අරෑප ලෝක, ත්‍රි ශික්ෂා  වැනි වියුක්ත සංකල්ප පවා මෙවැනි බෞද්ධ සංකල්පයෝ වෙති.  මේවා බෞද්ධ දර්ශනයෙහි කියවෙන දාර්ශනික ඉගැන්වීම් පමනක්ම නොවේ. නූගත් ගැමි බෞද්ධයා පවා කර්මය විස්වාස කරන්නේ පංචේන්ද්‍රියට ගොචරවීම නිසා හෝ සිතෙන් සිතා ගැනීමට හැකිවීම නිසා නොවේ. 'අනේ අනිච්ඡං, , සංසාරේ හැටි' කියා ගැමියන් කියන්නේ දැනුම සාධාරනීකරනය කිරීම පාපයක් ලෙස සලකන නිසාද නොවේ. පලමුව තමාත් තම පවුලත් යන සංයුක්ත සංකල්ප වලට මෙත් වඩා අවසානයේ සියලු මනුෂ්‍යයන්ටත්, සියලු සත්වයන්ටත් මහලු උපාසක අම්මලා මෛත්‍රිය වඩන්නේ සියලු සත්වයින් සිතෙන් වත් මවාගත හැකි සංකල්ප වන නිසාද නොවේ. ශිෂ්ඨාචාරයක සාමූහික සමාජ පැවැත්ම සඳහා වියුක්ත සංකල්පවල ඇති ප්‍රයෝගික උපයෝගීතාවය  අවිඥානිකව හෝ ජනතාව දන්නා නිසයි. 

ඕනෑම පරිනත ශිෂ්ඨාචාරයක විශිෂ්ඨ වූ දැනුම පවතින්නේ වියුක්ත සංකල්ප ලෙසයි. ඉහත දැක්වූ නිවන, කර්මය, ශුණ්‍යයතාවය, නියාම ධර්ම ආදී වියුක්ත සංකල්ප බෞද්ධ ශිෂ්ඨාචාරයේ උරැමයයි. ඉන්දියානු ශිෂ්ඨාචාරයේ ඊශ්වර ත්‍රිමුර්තිය , යුදෙව්, කිතුනු දෙවියන්, මුස්ලිම් අල්ලා දේව සංකල්පයන්ද අඩු වැඩි වශයෙන් වියුක්ත සංකල්පයෝ වෙති.  විවිධ සංස්කෘතීන්හි දැනුමේ හෝ චින්තනයේ ස්වභාවය වෙනස් වන්නේ සංයුක්ත, වියුක්ත බේදයක් අනුව නොවේ. සංස්කෘතික වූ මිනිසා සතු සංකල්පීය දැනුම එසේ බෙදා දැක්වීමේ හැකියාවක් පවා නැත. වියුක්ත සංකල්ප සෑම ශිෂ්ඨ සමාජයකම ඇති අතර ඒවා එම සංස්කෘතීන්හි ඇති විශිෂ්ඨ බවද පෙන්වා දෙයි.  නූතන දැනුම් පද්දතියක් වන විද්‍යයාවෙහි හෝ බටහිර දැනුම් පද්දතීන්හි වියුක්ත සංකල්ප තිබීම එම දැනුම් පද්දතියෙහි වන විශිෂ්ඨත්වයකි. බුදු දහම සමග පවා එකඟ නොවන අදහසක් බුදු දහම ලෙස පෙන්වමින්, මිත්‍යයා බෙදීමක් මත විද්‍යයාව පට්ටපල් බොරැයැයි නලින් මහතා මෙසේ පතුරන මිත්‍යයාව විද්‍යයාවට පමනක් නොව බෞද්ධ දර්ශණයට මෙන්ම සමාජීය පැවැත්මට පවා කරන නිගරැවකි.

සාමූහික සමාජයක් තුල ආගම හෝ වෙනත් වියුක්ත සංකල්ප හරහා කෙරෙන කාර්‍යයන් ඇත. (නලින්ද සිල්වා මහතා ක්‍රියාවලීන් ලෙස හඳුන්වන්නේ මේ කෘත්‍යය හෙවත් කාර්‍ය පිලිබඳවයි. කාර්‍යයාවලීන්- ක්‍රියාවලීන්. පසුව මේ ගැන සවිස්තරව කතා කරමු) එය නිවන නොවන නමුත්  වියුක්ත සංකල්ප සාමූහික පැවැත්ම තුල ඉටුකරන සමාජීය කාර්‍යයබාරය සාමාජයේ බිඳ වැටීම වැලැක්වීමට අත්‍යයවශ්‍යය වෙයි. දේශපාලන බෙදීම් උදෙසා කරන පටු බෙදීම් හරහා සිදුවන්නේ පවතින අන්‍යයතාවය පවා ගිලිහීම පමනක් නොවේ. තව දුරටත් මෙම මාතෘකාව ඔස්සේම සංවාදය පවත්වාගෙන යන්නේ මෙවැනි පටු බෙදීම්හි ඇති නිස්සාරත්වය තේරැම්ගත යුතුවන නිසයි.

සතුරෙකුට පවා නොවටිනා කැට කැබැලති වලින් පහර දෙනවා විනා තමා සතු වටිනා මුතු මැනික් වලින් පහර දෙන්නට කිසිවෙකු පෙළෙඔන්නේ  නැත. යමෙකු එසේ පහර දෙයි නම් ඔහු කැට කැබලිති සහ මුතු මැනික් අතර වෙනස නොහඳුනන්නෙකු විය යුතුයි. නැතිනම් අසරනව,කලහැකි අන් කිසිවක් නොවූ  අවස්ථාවක අතැති ඕනෑම දෙයකින් පහර දී හෝ තම ජීවිතය රැක ගැනීම සඳහා උත්සාහ දැරැවා විය යුතුය. සිදු වූයේ කුමක් වුවත් මුතු මැනික් වලට වඩා කැට කැබැලිති වටිනා බවට හෝ සමාන බවට පවසමින් උදම් ඇනීම අපේකම විය යුතු නැත.

පහත පල වන්නේ දශක දෙකකට පමන පෙර එම්. ඒ. නුහ්මාන් කවියා විසින් ලියන ලද පද කීපයකි.

‘බුදුහු වෙඩි වැදී මියැදුණහ…
වැරුද්දක් නෙමෙයි මේ
උන් වහන්සේගේ ප‍්‍රාණය නොසිඳ
මැස්සකුවත් මරන්නට නොහැකි වෙයි
අන්න ඒ නිසාමයි…’

Feb 7, 2016

බුදු දහම ඔලුවෙන් සිටවූ නලින්ද සිල්වාගේ බෞද්ධ චින්තනය-1

නලින් ද සිල්වා මහතා මූලීකත්වය ගනිමින් 'ජාතිකත්වය' පිලිබඳව ගොඩ නගන ලද සංවාදය  ශ්‍රී ලාංකීය දේශපාලනයෙහි තීරනාත්මක මතවාදයකි. මෙහිදී ඔහු තම මතවාදය හඳුන්වන්නේ බෞද්ධ, බුදු දහමට අනුකූල දර්ශනයක් ලෙසයි.එසේ වුවද සිල්වා මහතා ඉදිරිපත් කරන බොහෝ කරැනු බුදු දහමට පටහැනි  සාවද්‍යය අදහස් බව පෙනී යයි. බුදු දහම අත නොතැබිය යුතු විෂයක් ලෙස හෝ නව නිරැක්ති, අර්ථදැක්වීම් නොකල යුතු විෂයක් ලෙස අපි විසින්ද පිලි නොගනිමු. වර්ථමාන බුදු දහමද විවිධ දාර්ශනික සම්ප්‍රදායන් මත බෙදුනු විවිධ මතවාද, ඇදහිලි සහ විස්වාසයන් සහිත ආගමකි. ලංකාවේ ථේරවාද සම්ප්‍රදායෙහි පවා විවිධ බෙදීම් පවතී. මේ නිසා සැබෑ බුදු දහම යනු කුමක්දැයි යන්නම ගැටලුවකි.  නමුත් අනිත්‍යය, දුක්ඛ, අනාත්ම යන ත්‍රි ලක්ෂණ, දුක්ඛ, සමුදය, නිරෝධය, මාර්ගය යන චතුර්‍යය සත්‍යය, සීල, සමාධි, ප්‍රඥා යන  ත්‍රි ශික්ෂා ආදී මූලික ඉගැන්වීම්  සියලු බෞද්ධයින් පිලිගන්නා මූලික පදනමයි. මේ මූලික බෞද්ධ පදනම විකෘතිවන අදහස් බෞද්ධ දර්ශනය ලෙස සමාජ ගත කිරීමට උත්සාහ කිරීම දෙවරක් නොව බොහෝ වරක් සිතා බැලිය යුතු කාරනයකි.

යම් දාර්ශනික මතවාදයක අරමුණ විය යුත්තේ ජනතාව දේශපාලනිකව සංවිධානය කිරීම පමනක්ම නොවේ. සමාජගත වූ  මතවාදයක් තුලින් ජනතාවගේ  අදහස් සඳහා කරන බලපෑම 'බලය' පිලිබඳ කාරනයක් පමනක්මත් නොවේ. එමගින් පුද්ගල සහ සමාජ චින්තනයට මෙන්ම ක්‍රියාකාරකම් කෙරෙහි වන බලපෑමද අප සිතනවාට වඩා ප්‍රබලය. බුදු දහම පදනම් කරගෙන ගොඩනැනුනු සමාජයක් ලෙස සංස්කෘතික සහ සදාචාරමය ඉගැන්වීම් අභියෝගයට ලක්වන වැරදි සංඥා සහ සංකල්ප සමාජගත කිරීමේ ඇති භයානක අප විසින් තේරැම්ගත යුතුයි. වර්ථමාන සමාජ සහ සංස්කෘතික පරිහානියට තව බොහෝ හේතු ඇතත් මෙවැනි සාවද්‍ය්‍ය අදහස්ද ඒ සඳහා හේතු නොවීයැයි පිලිගත නොහැක.

නලින් ද සිල්වා මහතා දැනුම සංයුක්ත සහ වියුක්ත සංකල්ප ලෙස කරන බෙදා දැක්වීම ඔහුගේ ඉගැන්වීම් අතර ඇති වැදගත් අදහසකි. මෙම බෙදීම ඔහු දෙශපාලනයේ සීමා සලකුනු කිරීම සඳහා යොදා ගන්නා ප්‍රධානම මතවාදයයි. සියලු සංකල්පීය දැනුම බොරැ, මුසා බවත් වියුක්ත සංකල්ප හා ප්‍රවාද පට්ටපල් බොරැ බවත් ඔහුගේ අදහසයි. නූතන විද්‍යයාව සහ බටහිර දැනුම පිලිබඳ ඔහුගේ විරෝධයේ පදනම වන්නේ මේ බෙදීමයි. විද්‍යයාව, ලිබරල්වාදය, මාර්ක්ස්වාදය, නූතනත්වය ඇතුලු බටහිර දැනුම වියුක්ත සංකල්ප ඇසුරෙන් ගොඩ නැගුනු දැනුම් පද්දතීන් බවත් ඒ සඳහා යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ ඇති වියුක්ත දේව සංකල්ප බලපා ඇති බව ඔහුගේ අදහසයි. ඔහු මේ වටා ද්වී කෝටික, රේඛීය චින්තනය ආදී ලෙස හදුන්වන කතාන්දර ද ගොතයි. ඒ අතරම ඔහු කියන්නේ අප ( සිංහල බෞද්ධයා) චතුස්කෝටික ලෙස ලෝකය දකින, චක්‍රීය චින්තනයක් ඇති අය බැවින් වියුක්ත ලෙස ලෝකය දැකීමට අසමත් පිරිසක් බවයි.  සිංහල බෞද්ධ සංස්කෘතිය තුල වියුක්ත සංකල්ප හෝ ප්‍රවාද දුලබ බව ඔහුගේ අදහසයි. අප  විද්‍යයාව සහ නූතනත්වය තුල සාර්ථක වූ පිරිසක් නොවන්නේද මේ නිසයි. එසේම ලංකාවේ දේශපාලන අර්බුධය වන්නේ මේ නූතනත්වය පදනම් වූ මේ බටහිර දැනුම බවද, අපේ චින්තනයට ගැලපෙන සිංහල බෞද්ධ විද්‍යයාවක්, දර්ශනයක්, සංස්කෘතියක් මෙන්ම දේශපාලනයක්ද ගොඩ නගා ගැනීම විසදුම බවටද ඔහු යෝජනා කරයි.

අරමුණක් ලෙස ගත් විට මෙයද ඉතා යහපත් අරමුණකි. ජාතියකට අනන්‍යය දේශපාලනයක්, සංස්කෘතියක් තිබීම ඉතා යහපත්ය. දැනුම නිර්මාණයද මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යයවශ්‍යය සාධකයකි. නමුත් දැනුම නිර්මාණය යනු වචන හරඹයක් පමනක්ම නොවේ. ඒ සඳහා යම් පැහැදිලි සහ නිරවුල් පදනමක්ද තිබිය යුතුය.  අරමුණක් මෙන්ම  අරමුණ වෙනුවෙන් උපයෝගීතාවයක්ද දැනුමේ තිබිය යුතුය. මේ එතුමා 11/03/2015 දින විදුසර පුවත්පතේහි ඒ ගැන දක්වන අදහසයි

“බුදුදහමට අනුව අපේ (පෘථග්ජනයන් ගේ) සියලු සංකල්ප, ප්‍රවාද ඇතුළත් දැනුම මුසා වෙයි. මේ දැනුම කොටස්‌ තුනකට බෙදිය හැකි ය. ඒ මනසෙන් පමණක්‌ ගන්නා ප්‍රත්‍යක්‌ෂ, මනස හා පංචෙන්ද්‍රිය එකතු වී ගන්නා ප්‍රත්‍යක්‌ෂ හා ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම ය. ප්‍රත්‍යක්‌ෂ යනු පංචෙන්ද්‍රියන් මගින් ලැබෙන (මනස විසින් නිර්මාණය කෙරෙන) සෘජු දැනුම ය. එහි නිරුක්‌තියට අක්‌ෂි යන්න වැදගත් වුවත් ප්‍රත්‍යක්‌ෂ සැම ඉන්ද්‍රියක්‌ සම්බන්ධයෙන් ම ඇත. කණ හා මනස එක්‌ වීමෙන් මෙන්ම නාසය හා මනස එක්‌ වීමෙන් ද ප්‍රත්‍යක්‌ෂ ලැබෙයි. ප්‍රත්‍යක්‌ෂ ඉහත සඳහන් පරිදි කොටස්‌ දෙකකට බෙදිය (වර්ග කළ) හැකි ය. ඒ පංචෙන්ද්‍රිය සමග සම්බන්ධ නො වී මනසෙන් පමණක්‌ නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‌ෂ හා පංචෙන්ද්‍රිය සමග එකතු වී මනස විසින් නිර්මාණය කෙරෙන ප්‍රත්‍යක්‌ෂ යනුවෙනි. ඒ අවස්‌ථා දෙකෙහි ම ප්‍රත්‍යක්‌ෂයෙන් ගන්නා දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනස සියල්ලට ම මුල් වෙයි. මනස ප්‍රධාන වෙයි.

ප්‍රත්‍යක්‌ෂවල දී සංකල්ප යොදා ගැනෙයි. එහෙත් ඉන් ඔබ්බට යන දැනුමක්‌ නැත. ප්‍රත්‍යක්‌ෂ නො වන දැනුම එසේ නො වේ. ඒ උපකල්පනය, එසේත් නැති නම් හිතළු ය. එසේත් නැත්නම් ඉතිහාසය වැනි දැනුමකි. ඒ දැනුම් ඇතැම් විට මනසෙන් (සිතෙන්) මවාගත හැකි ය. තවත් දේ හිතෙන් වත් මවාගත නො හැකි ය........ ගැමුණු රජු පිළිබඳ දැනුම පට්‌ටපල් බොරුවක්‌ නො වේ. එසේ වුවත් එය ද මුසාවකි. ඒ බුදුදහම අනුව පුද්ගලයකු නැති බැවිනි. අප විසින් වෙනත් පුද්ගලයෝ ද මවනු ලැබෙති. බුදුදහමට අනුව මිරිසවැටිය යනුවෙන් ඊනියා වාස්‌තවික චෛත්‍යයක්‌ ද නැත. එය ද මුසාවකි.

බටහිර විද්‍යාවෙහි ඇත්තේ වෙනත් ආකාරයක දැනුමකි. එහි දී අපට පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි ඇත. මේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි පළමුවෙන් ම බටහිර විද්‍යාඥයන් විසින් සාධාරණීකරණයට ලක්‌ කෙරෙයි. සාධාරණීකරණය වූ දැනුම වියුක්‌ත දැනුමකි. ඒ පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. කිසිවකුට යම් කරුණක්‌ සම්බන්ධයෙන් සියලු නිරීක්‌ෂණ කළ නො හැකි ය. සියලු බටහිර විද්‍යාඥයන් එකතු වුවත් ඒ කළ හැකි නො වේ. සියලු කපුටන් නිරීක්‌ෂණය කර ඔවුන් ගේ පාට පිළිබඳ යමක්‌ කිව නො හැකි ය. බටහිර විද්‍යාඥයන් කරන්නේ නිරීක්‌ෂණ කිහිපයකින් සියලු කපුටන් කළු පාට යෑයි උද්ගමනය කිරීම ය. එය වියුක්‌ත ය. සියලු කපුටන් යන්න ම වියුක්‌ත සංකල්පයකි. ඒ මනසෙන් (සිතෙන්) මවාගත නො හැකි ය..........

බටහිර විද්‍යාවෙහි වියුක්‌ත උද්ගමනය නිර්මාණය කිරීමෙන් පසු බටහිර විද්‍යාඥයෝ වියුක්‌ත හිතළු (අනුමිනිත) ඉදිරිපත් කරති. ඉන්පසු ඒ වියුක්‌ත හිතළුවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් වියුක්‌ත නිගමනවලට පැමිණෙති. ඔවුහු ඒ වියුක්‌ත නිගමන සංයුක්‌ත නිරීක්‌ෂණ සමග සන්සන්දනය කර වඩා සාර්ථක හිතළුව (එනම් සංයුක්‌ත නිරීක්‌ෂණ සමග වඩා ගැලපෙන) ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කරති. මෙය කෙතරම් දුරට ඊනියා සත්‍යය හෙළිදරවු කරන්නේ ද? බටහිර විද්‍යාවේ ඊනියා ප්‍රවාද බවට පත් වන හිතළු පට්‌ටපල් බොරු වෙයි. ඒ වියුක්‌ත ය. අඩු ම තරමෙන් සිතෙන් මවා ගැනීමට වත් නො හැකි ය. බටහිර විද්‍යාවේ බංකොළොත් දර්ශනයට අනුව අප තෝරාගත යුත්තේ වඩා සාර්ථක පට්‌ටපල් බොරුව ය.”

මෙහිදී නලින්ද සිල්වා මහතා සංයුක්ත සහ වියුක්ත ලෙස කරන බෙදීම 'බොරැ සහ පට්ටපල් බොරැ' ලෙස හඳුන්වන්නේ බුදු දහම හා සැසඳීමෙනි. සියලු දැනුම බොරැ, මුසා වන්නේ බුදු දහමට සාපේක්ෂවයි. එතුමා විද්‍යයාව හෝ වෙනත් පදනමක් මත සංකල්පීය දැනුම බොරැ බව හෝ පට්ටපල් බොරැ බව පෙන්වා දී ඇත්දැයි අප නොදනිමු. මේ නිසාම එතුමාගේ මෙම අදහස නිවැරදිදැයි සොයා බැලිය හැකි මාර්ග ඇත්තේද දෙකක් පමනි. පලමුවැන්න මේ අදහස් බුදු දහමට හෝ බෞද්ධ දර්ශණයට එකඟ වන්නේදැයි සොයා බැලීමයි. දෙවැන්න බුදු දහම සහ විද්‍යයාව අතර කරන මේ එකිනෙක සැසැඳිමට සාධාරන පදනමක් ඇත්තේදැයි සොයා බැලීමයි.

සූත්‍ර පිටකයේ මජ්ජිම නිකායේ ඇති මූල පරියාය සූත්‍රයෙහි නානාත්වය සහ ඒකාත්වය යනුවෙන් හඳුන්වන වචන දෙකක් ඇත.  නානාත්වය යනු විවිධත්වයයි. ලෝකයේ ඇති සියල්ල එකිනෙකට වෙනස්ය. ඉර, හඳ, තාරකා, ගහ, කොල, සතුන්, මිනිසුන් පමනත් නොව මිනිසුන්ගේ අදහස්වල පවා ඇත්තේ විවිධත්වයකි. මිනිසා තම පැවැත්ම සදහා ආශාවක්/ තන්හාවක් ඇති කර ගන්නේ ලෝකයේ ඇති මේ විවිධත්වය නිසාමය. ලස්සන රෑප දැකීමට, විවිධ හඬ අසීමට, රස ආහාර සෙවීමට, සුන්දර ස්පර්ශයන් පැතීමට මිනිසා පෙළඹෙන්නේ මේ විවිධත්වය සැබෑවක්යැයි ඇති විස්වාසයයි. සියලු ජීවීන්ගේ පැවැත්ම පදනම් වන්නේ මේ විවිධත්වය ඥාණනය කිරීමේ හැකිව තුලයි.

නමුත් මේ විවිධත්වය හට ගන්නේ වෙනස්වීම (අනිත්‍යය) නිසා බව තේරැම් ගැනීම එතරම් පහසු නැත. අවිද්‍යයාව යනු මේ නොදැනීමයි. ගසක්, මලක්, ගෙඩියක් ලෙස වෙනස්වීමෙන් විවිධත්වය ඇතිවන බව තේරැම් ගැනීමට අපහසු නොවූවත් මිනිසෙකු, බල්ලෙකු සහ මාලුවෙකු අතර ඇති විවිධත්වයට හේතුව වෙනස්වීම බව තේරැම් ගැනීම මදක් දුෂ්කරය. (බුදුන් වහන්සේ මෙය අග්ගඥ්ඥ සූත්‍රයෙන් පැහැදිලි කල අතර ඩාවින් පරිනාමවාදය මගින් පෙන්වාදීමට උත්සාහ කරයි)  හිරැ, සඳු, තරැ අතර ඇති විවිධත්වයට හේතුව වෙනස්වීම බව තේරැම් ගැනීම මේ සියල්ලටම වඩා අපහසුය. (නූතන විද්‍යඥඥයින් උත්සාහ ගන්නේ මේ ගැන සොයා ගැනීමටයි) යම් විටක මිනිසා සදා කාලික ජීවතයක් ඇති, විශ්වයම දැකීමට  හැකියාවක් ඇති අයෙකු (දෙවියෙකු) වූයේ නම් ගසක්, මලක්, ගෙඩියක් වෙනස්වන ලෙසටම හිරැ, සඳු, තරැ  වෙනස්වීමෙන් විවිධත්වය ඇතිවන බව තේරැම් ගැනීමට අපටද හැකි වන්නට ඉඩ තිබුනි.

විවිධත්වය පවතින දෙයක් ලෙස විස්වාස කරන ලෝකයක බුදුන් වහන්සේගේ සුවිශේෂීම ඉගැන්වීම වන්නේ විවිධත්වය, වෙනස්කම් ඇතිවන්නේ වෙනස්වීම නිසා බවයි. සියල්ලෙහිම ඇති ඒකීයත්වය,  එකම ස්වභාවය වන්නේ වෙනස්වීමයි. බුදු දහම යනු මේ ඒකීයත්වය, අනිත්‍යය බව අවබෝධ කරගන්නා මාර්ගයයි.  නිවන යනු එසේ සියල්ලෙහි ඇති අනිත්‍යයය  පිලිබඳව  ලබන අවබෝධයයි.

මෙහිදී වඩා වැදගත්වන ප්‍රශ්නය නම් මිනිසා (හෝ සත්වයින්) ලෝකයේ ඇති  මේ විවිධත්වය  හෝ ඒකීයත්වය දැනගන්නේ (දැනුම ඇතිකරගන්නේ) කෙසේද යන්නයි. මෙය ඉතා සංකීර්න ක්‍රියාවලියක් බව සැබෑය.නමුත් සරලව මේ ගැන තේරැම් ගැනීමට අපහසුවක්ද නැත. විවිධත්වය, වෙනස්කම් හඳුනාගත හැකි වන්නේ එකිනෙක අරමුණු අතර පවතින වෙනස්කම් සැසඳිමෙනි. උදාහරනයකට  ඉර හා හඳ අතර විවිධත්වයක්, වෙනස්කමක්  ඇතිබව අපට දැනගත හැකි වන්නේ මේ දෙක අතර ඇති වෙනස්කම්  එකිනෙක හා  සැසදීමෙනි. (මනස යන්නෙහි අර්ථය මැනීම සහ සම්බන්ඳ කිරීමේ ක්‍රියාවලිය යන්නයි. මනස සියල්ලටම මුලික වන බව කියවෙන බෞද්ධ අදහසෙහි අර්ථය මැනීම, සැසඳීම සියල්ලට මුල්වීම බවයි)  එලෙසින්ම ඒකීයත්වය, ඉර සහ සඳ අතර ඇති එකම ස්වභාවය  දැන ගැනීමට නම් ඒවා අතරවන සමානකම් සෙවිය යුතුය.  බුදුන් වහන්සේ සොයා ගියේ ලෝකයේ ඇති සියල්ලේහිම වන  එකම (ඒකීයම) සමානකම ගැනයි. එනම් වෙනස්වීම හෙවත් අනිත්‍යය බව ගැනයි. ඥාණය යනු මෙම වෙනස්කම් සහ සමානකම් සැසැඳිමේ හැකියාවයි. දැනුම යනු මෙම සැසැදීමේ හැකියාවෙන් ඇති වන ප්‍රථිපලයකි.

බොහෝ දෙනෙකු ඥාණය ලෙස සලකන්නේ වෙනස්කම් සෙවීම මිස සමානකම් සෙවීම නොවේ. පංචේන්‍ද්‍රය ඇසුරෙන් දැනුම ඇතිකර ගැනීමට වෙනස්කම් සෙවීම වැදගත් වුවත් වෙනස්වීම (හෝ හේතුව, විචාරය ) පිලිබදව දැනුම සෙවීමේදී වැදගත්වන්නේ සමානකම් සැසදීමේ හැකියාවයි. විශේෂයෙන් නූතන දැනුම සොයා යාමේ විධික්‍රමයන් තුල නොයෙකුත් විෂය හා අරමුණු අනුව බෙදාගනිමින් කරන හැදෑරීමේදී අවධානය යොමු වන්නේ වෙස්නම් සෙවීම සඳහාමය.  වෙනස්කම් අතර සමානකම් සෙවීම මෙන්ම සමානකම් අතර වෙනස්කම් සෙවීමද එක ලෙසම වැදගත්ය.

අපි දැන් නලින්ද සිල්වා මහතා කියන සංයුක්ත, වියුක්ත සංකල්ප පිලිබද කතාවට නැවත යමු. ඔහුට අනුව පංචේනුද්‍රියට ගෝචරවන, නොඑසේනම් පංචේන්ද්‍රිය  ඇසුරෙන් දකින, දැනෙන 'පොල් ගෙඩිය' සංයුක්ත සංකල්පයකි. පොදුවේ 'පොල් ගෙඩි' ලෙස හදුන්වන සංකල්පය වියුක්ත සංකල්පයකි. දැන් මේ සංයුක්ත පොල් ගෙඩිය සහ වියුක්ත පොල් ගෙඩිය අතර ඇති වෙනස කුමක්ද?  පංචේනුද්‍රියට ගෝචරවන සංයුක්ත පොල් ගෙඩිය විශේෂීකරනය කරන ලද පොල් ගෙඩියකි. ඒ පොල් ගෙඩිය ලෝකයේ ඇති අනෙකුත් සියලු පොල් ගෙඩි වලින් වෙනස්ය. එකම වෙනස  ඉන්ද්‍රිය ගෝචර වීම පමනක්  වුවත් ඒ නිසා එය විශේෂ පොල් ගෙඩියකි. මෙය වෙනස්කම් සැසැඳිමෙන් ඇති කර ගන්නා දැනුමකි. වියුක්ත පොල් ගෙඩිය  සාමාන්‍යයකරනය, සාධාරනීකරනය කරන ලද පොල් ගෙඩියකි. එම සංකල්පය සකස් කර ගන්නේ සියලු පොල්වල විශේෂ ලක්ෂණ ඉවත් කිරීමෙනි. එනම් සමානකම් සැසැදිමෙනි.

මේ ගැන කියවෙන අපූරැ බෞද්ධ කතාවක් ඇත. කිසා ගෝතමිය තම දරැවා මැරැනු ශෝකයෙන් දරැවාගේ මළ කඳ ද ඔසවාගෙන බුදුන් වහන්සේ හමුවට පැමිනි බව සඳහන් වෙන්නේ පියවි සිහිය පවා අහිමිවය. කිසා ගෝතමියට තම දරැවාගේ මරණය  සුවිශේෂ වූ සංයුක්ත සංකල්පයකි. මේ ගැන කිසා ගෝතමියට දාර්ශණික කතා දේශනා නොකරන බුදුන් වහන්සේ කිසිවෙකු නොමළ ගෙයකින් අබ මිටක් ගෙන එන ලෙස ඇයට පවසයි. අබ මිටක් සොයා ගෙයක් ගෙයක් ගානේ ඇවිදින කිසා ගෝතමියට අබ ඇතත් කිසිවෙකු නොමළ ගෙයක් සොයා ගත නොහැකි වෙයි. අවසානයේ ඇයට මරණය යනු සංයුක්ත සංකල්පයක් නොව සියල්ලන්ටම පොදු,  සාමාන්‍යයකරනය කරන ලද ,සාධාරනීකරනයකරන ලද, වියුක්ත සංකල්පයක් බව අවබෝධ කර ගනිමින් විමුක්තිය ලැබූ බව සඳහන් වෙයි.

බුදු දහමේ අෂ්ඨ සමාපත්ති  නම් වූ සමාධිය වඩන ධ්‍යාන (භාවනා) ක්‍රම අටක් ගැන සඳහන් වෙයි. මේවානම් ප්‍රථම ධ්‍යානය, ද්විතීය ධ්‍යානය,තෘතීය ධ්‍යානය,චතුර් ධ්‍යානය යන රූපී ධ්‍යාන සතරත් ආකාසඤ්ඤායතනය, විඤ්ඤ්ණචඤ්ඤායතනය,ආකිඤචඤ්ඤායත,නේවසඤ්ඤා නාසඤ්ඤායතනය නම් වූ අරෑපී ධ්‍යයාන සතරත්ය . මෙහිදී ප්‍රථම ධ්‍යානයේ සිට චතුර්ත්‍යයක්  ධ්‍යානය දක්වා යනවිට පිලිවෙලින් විතර්ක, විචාර, ප්‍රීති, සුඛ නම් වූ චෛතසිකවලින් සිත නිදහස් කර ගනිමින් ඒකග්‍රතාවය ඇතිකරගනී. එනම් පංචේන්ද්‍රිය ඇසුරෙන් සකස්කරගත් අරමුණ (කර්මස්ථානය ලෙස ගන්නා නිමිත්ත. මෙය පංචේන්ද්‍රිය ඇසුරෙන් ඇතිකරගන්නා සංකල්පයකි)  වූ සංයුක්ත සංකල්පය වියුක්ත සංකල්පයක් බවට පත්කර ගැනීමට උත්සාහ ගනී. (චෛතසික වලින් ) නමුත් මෙම රෑපී ධ්‍යයාන  හරහාද සංකල්පීය දැනුමෙන් වියුක්ත විය නොහැකි බව දැකීමෙන් එම නිමිත්ත (සංකල්පය) උපුටා දැමීමෙන් ආකාසඤ්ඤායතනය නම්වූ අවකාශය අරමුණු කරගත් අරෑපී ධ්‍යයානයකට මීලඟට පිවිසෙයි. එයින්ද සංකල්පීය දැනුමෙන් වියුක්ත විය නොහැකි බව දැකීමෙන් විඤ්ඤ්ණචඤ්ඤායතනය, ආකිඤචඤ්ඤායත, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය වශයෙන් වන අරෑපී ධ්‍යාන ඇති කර ගැනීමට උත්සාහ ගනී. මේවා බුදුන් වහන්සේගේ කාලයට පෙරද පැවති,බුදුන් වහන්සේද අනුමත කල සංකල්පීය දැනුමෙන් වියුක්ත වීමට ගත් උත්සාහයන්ය. නමුත් මේ මාර්ග වලින්ද  සියලු දැනුමෙන් වියුක්ත විය නොහැකි බව අවබෝධකරගන්නා බුදුන් වහන්සේ ලෝකයේ ඇති සියල්ලෙහිම  සාධාරනීකරනය කරන ලද එකම සමානකම වන  අනිත්‍යය බව (වෙනස්වීම) කිසිවක් හා සැසැඳිය නොහැකි බව අවබෝධකරගෙන  සියලු  දැනුමෙන් වියුක්ත විය හැකිබව පෙන්වා දුන්හ. (අරිය පර්යේෂණ සූත්‍රය කියවන්න)

බුදු දහමට අනුව ලෝකය ඇත්තේ අප තුලමය. (අපේ දැනුම තුලය) කාම ලෝකය, රෑප ලෝකය, අරෑප  ලෝකය යනු අප විසින්ම නිර්මාණය කර ගන්නා  සංකල්පීය ලෝකයන්ය. කාම ලෝකය යනු පංචේන්ද්‍රිය ඇසුරින් සකස්කරගන්නා දැනුම වින්දනය කරන ලෝකයයි. රෑප ලෝකය යනු පංචේනුද්‍රිය ඇසුරෙන් සකස් කරගත් සංකල්ප සිතෙන් මෙනෙහි කිරීමෙන් සකස්කර ගන්නා ලෝකයයි.(ඉහත ධ්‍යයානවල ප්‍රථම ධ්‍යයාන සතර  මෙයට අයත්ය).අරෑප ලෝකය යනු මෙම සංකල්ප රෑප වල රෑපී ලක්ෂණ ඉවත්කර ගනිමින් සකස්කර ගන්නා  සංකල්පීය ලෝකයන්ය. (ඉහත දෙවන ධයයාන සතර අරෑපී ධ්‍යාන්‍යය වේ.) නලින්ද සිල්වා මහතා කියන සංයුක්ත සංකල්ප යනු මේ කාම ලෝක සංකල්ප වේ. රෑප  සංකල්ප යනු පංචේනුද්‍රියට ගෝචර නොවන නමුත් සිතෙන් සිතා ගත හැකි වියුක්ත සංකල්ප ලෝක වෙයි. අරෑප  සංකල්ප යනු සිතෙන් සිතා ගැනීමටවත් නොහැකි වියුක්ත සංකල්පයන්ය.

බුදු දහම පිලිබඳව මෙවැනි සවිස්තර සටහනක් එක් කරන්නේ නලින්ද සිල්වා මහතාගේ අදහස් කොතරම් බුදු දහම විකෘතිකර ඇත්දැයි පෙන්වා දීමටයි. ඒ මහතා කියන ආකාරයට සියලු සම්මුති දැනුම බොරැ (මුසා) නම් බුදු දහමට අනුව පට්ටපල් බොරැ විය යුත්තේ වියුක්ත සංකල්ප නොව සංයුක්ත සංකල්පයි. මිනිසා ආශාවන් ( තන්හාව) ඇතිකර ගන්නේ, විශේෂීකරනය කරන ලද  සංකල්ප පිලිබඳව මිස සාමාන්‍යයකරනය කරන ලද සංකල්ප පිලිබඳව නොවේ. අප  ආශාවන් (ලොභ) හෝ වෛරයන්(ද්වේශ) ඇතිකර ගන්නේ යම් විශේෂිත වූ දෙයක්, විශේෂීකරනය කරන ලද සංකල්පයක් පිලිබඳවයි. ඉංද්‍රිය ගෝචර සංකල්ප (කාම සංකල්ප), ඉන්ද්‍රිය ගෝචර නොවන මුත් සිතෙන් සිතා ගතහැකි සංකල්ප (රෑප සංකල්ප) සහ සිතෙන් පවා සිතා ගත නොහැකි සංකල්ප (අරෑප සංකල්ප) අනුක්‍රමයෙන් නිවනට ලඟාවෙන  මාර්ගයයි. නලින් මහතා කියන්නේ රෑප, අරෑප සංකල්පවලට වඩා කාම සංකල්ප වඩා හොඳ බවයි. මෙහිදී ඒ මහතා දාර්ශනික හරඹයක් මගින් කරන්නේ සම්පූර්නයෙන් බුදු දහම කනපිට හැරවීමකි. මෙය නොගැලපීමක් නොව සම්පූර්නයෙන් බුදු දහම කනපිට හැරවීමකි.

නලින් ද සිල්වා මහතා බුදු දහම විකෘති කරමින් දේශනාකරන අමුතු බුදු දහම පිලිබව මී ලඟ ලිපියෙන් තව දුරටත් සොයා බලමු.