Jul 3, 2016

4. ලෝකයේ පරම සත්‍යයන් නැත.

බුදු දහම සහ බෞද්ධ ආගම අතර බෙදීමට පදනම වන්නෙ පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස දක්වන සත්‍යයන් දෙකයි. මේ බෙදීම සහ එහි ඇති වැදගත්කම පිලිබඳව කතා කල යුතු බොහෝ දේ ඇතත්, අප බොහෝ විට කතා නොකරන, අවදානයට ලක් නොවන ඉතා වැදගත් සත්‍යයක් ද මෙහි ඇත. එනම් බුදු දහම අනුව මහා සත්‍යයක්, ඒකීය සත්‍යයක් හෝ පරම සත්‍යයක්  නැති බවයි.

බුදු දහමට අනුව ලෝකය නිර්මාණය කල සර්ව බලධාරී දෙවි කෙනෙකු, බ්‍රහ්මයෙකු, ඊශ්වරයෙකු,  නිර්මාපකයෙකු නැත. බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන්වන මහා බ්‍රහ්මයා  ලෝකයේ පලමුව පහල වු සත්වයාය. තමාගෙන් පසුව බිහිවන සත්වයින්, තමන්ගේ ප්‍රර්ථනයට අනුව බිහිවූ බව විස්වාස කරන ඔහු සත්වයින් මවන ලද්දේ තමන් විසින්යැයි  වැරදි අවබෝධයක් ඇතිකරගෙන සිටින්නෙකි. ඝෘතු, බීජ, කම්ම, ධම්ම, චිත්ත ආදි නියාම ධර්මයන්ද විෂය ලෙස සපයන අර්ථයන් මිස  නියත න්‍යයායන් නොවේ.  

ලෝකය නිර්මාණය කරන්නේ මිනිසා විසින්ම බව බුදු දහම පැහැදිලිව පවසයි. එහි අදහස ලොකය (හෝ විශ්වය) නිර්වචනය කරන්නේ, අර්ථයක් දෙන්නේ, සකස් කරන්නේ (සංස්කාර) මිනිසා විසින්ම බවයි. ලොකය පිලිබඳ සියලු දැනුම මිනිසා විසින් සකස්කල, දෙන ලද අර්ථයන්ය. යමක් සකස්කරන ලද්දක් නම්, දෙන ලද අර්ථයක් නම්  එය පරම වූවක් විය නොහැක.

කිතුනු, ඉස්ලාම් ආදී ඊශ්වර නිර්මාණවාදි ආගම් වලට  අනුව විශ්වය,ලෝකය, මෙන්ම මිනිසාද දෙවියන්ගේ නිර්මාණයන්ය. ඔහු මිනිසාගෙන් වෙන්ව, බැහැරව සිටී.මේ අනුව විශ්වය, ලෝකය පමනක් නොව මිනිසා විසින් නිර්මාණය කරන දේ තුලද ඇත්තේ දෙවියන් විසින් දෙන ලද පරම අර්ථයන්ය. මිනිසාට කල හැක්කේ දෙවියන් විසින් දෙන ලද අර්ථයන්, නියමයන් සොයා යෑම පමනි. අනෙක් අතට සොයා යා යුතු, බැහැරව තිබෙන පරම අර්ථයන්ද ලෝකයේ ඇතැයි ඔවුන් විස්වාස කරයි. ඒ දෙවියන් විසින් දෙන ලද අර්ථයන්ය.ඒ අර්ථයන් පරම, නිරපේක්ෂ අර්ථයන්ය. 

මේ අදහස පැහැදිලි කිරීම මෙන්ම තේරැම් ගැනීමද පහසු නැත. නූතන ලොකය යනු බටහිර ශිෂ්ඨාචාරය විසින් තම අධිපත්‍යයට නතුකරගෙන ඇති ලෝකයකි. ඔවුන්ගේ සංස්කෘතික අධිපත්‍යය තුල ඇත්තේ ඔවුන් විසින් අර්ථගන්වන ලද ලෝකයකි. දෙවියන් විසින් දෙන ලද පරම අර්ථයන් ඇත්තේ ආගමේ පමනක්ම නොවේ. ආගමින් වෙන්කර ගත් විද්‍යයාව, දේශපාලනය, දර්ශණය,කලාව ආදී ක්ෂේත්‍රයන්හිදී ද ඔවුන් විස්වාස කරන්නේ ලෝකයේ තිබිය යුත්තේ එකම, පරම අර්ථයන් පමනක් බවයි.

මේ රටද සියවස් කිපයක් පුරා පාලනය කරන ලද්දේද බටහිර ජාතීන් විසිනි. නුතන ලාංකීය සංස්කෘතියට බටහිර ජාතින් කරන ලද බලපෑම සුලුපටු නැත. මෙම සංකෘතික අධිපත්‍යය විසින් රාජ්‍යය සහ අධ්‍යයාපන ක්ෂේත්‍රයන් වලට පමනක් නොව භාෂාව, ආගම ආදී ක්ෂේත්‍ර තුලටද අර්ථ සපයා ඇත. මේ නිසාම නූතන බෞද්ධයාගේ දෘෂ්ඨිමය අන්‍යයතාවය තුල පවා ඇත්තේ බෞද්ධ දෘෂ්ඨියක් නොවේ. නූතන බෞද්ධයාට පවා පරම යන වචනය ඇසෙන විටම දැනෙන්නේ නිරපේක්ෂ,  අවසන්, නියත අර්ථයකි.

භාෂාමය නිරැක්තීන්  ඔස්සේ පරම යන වචනයෙහි අර්ථය තේරැම් ගැනීමට උත්සාහ කිරීමද ඵලදායකයැයි මම නොසිතමි. බුදු දහම නූතන ආගමකි යනුවෙන් ලියු පලමු ලිපිය ඔස්සේ මා විසින් සඳහන් කර ඇත්තේද මේ කරැනමය. අපට යම් සංඥාවක්, සංකල්පයක් නිර්වචනය කර ගත හැකි වන්නේ තවත් බොහෝ සංඥා සහ සංකල්ප රශියක අර්ථයන් ඇසුරෙනි. මෙය බොහෝ විට සවිඥානිකව සිදු කරන්නක් නොව අවිඥානිකව සිදු වන්නකි. බුදු දහමට අනුව යමෙකුගේ දෘෂ්ඨිය ඝෘජු වනවිට මේ අර්ථයන් අතරවන සහසම්බන්ඳයන් පැහැදිලිව දැකිය හැකි  වෙයි. විවිධ අය සිහිනයෙන් හෝ හදිසියේ  එකවර පහලවන, අතීත ඝෘෂිවරැන්ට පැවතිබව විස්වාස කරන සුවිශේෂී ඥාණයන් සේ හදුන්වන්නේද මේ හැකියාවටයි. නමුත් මෙයද විචාර ඥාණයේම දිගුවක් මිස අද්භූත ඥාණයක් නොවේ. තමන්ගෙන් බාහිරව පවතින පරම අර්ථයක් පිලිබඳව ඇති විස්වාසය මෙන්ම තමන් තුලම පවත්න පරම අර්ථයක් පිලිබඳ විස්වාසයද දෘෂ්ඨිමය අන්තයන්ය.
සමථය භාවනා වඩන්නා අශ්ඨ සමාපත්ති ලාභියෙකු වුවත් විදර්ශනාව භාවනාව වැඩීමට නැවත ප්‍රථම ධ්‍යානයට පැමින විතර්ක- විචාරය සහිත ප්‍රථම ධ්‍යයානයට පැමින තම ගමන ඇරඹිය යුතුය.

සියවස් ගණනාවක් තුල සිංහල භාෂාව, සංස්කෘතිය, දෘෂ්ඨිය මෙන්ම බුදු දහමද යුරෝපය මුල්කර ගත් දේවවාදී ආගම් සහ සංස්කෘතීන් ඇසුරෙන් අර්ථගැන්වීම නිසා බුදු දහමේ සහ සිංහල භාෂාවේ මේ වචනයන්හි සැබෑ නිරැක්තිය වටහා ගැනීම පහසු නැත. නුතන යුගයේ ත්‍රිපිටකය මුලින්ම පරිවර්තනය වන්නේද සිංහල බසට නොව ඉංග්‍රිසි භාෂාවටයි.

පාලියෙහි ගන්ධකුඨි ලෙස දක්වන්නේ ගඳකිලිය නොහොත් සුවඳ කුටියයි. මෙයින් දක්වන්නේ බුදුන් වහන්සේ වැඩ විසූ ගෘහයයි. එය ගෞරවය සහ භක්තිය හඟවනු පිනිස යොදන ලද වචනයකි. මේ අනුව අතීත ගන්ධ යන්නෙහි අර්ථය සුවඳ වුවත් වර්ථමානයේ සිංහල භාෂාවේ ගඳ යනුවෙන් හදුන්වන්නේ මෙයට සපුරාම විරැද්ධ අර්ථයකි. 

පරමාර්ථ සත්‍යය යන යෙදුමෙහි මුලික පාලි වචනය ‘පරමත්ථ’ යන්නයි. එහි තේරැම උසස් අර්ථය, ප්‍රධාන අර්ථය යන්නයි.  මුල් බුදුදහම ලෙස සැලකෙන සුත්‍ර පිටකයේ මේ බෙදීම දැක්වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය සහ ලෞකික සම්මා දිටිඨිය ලෙසයි. ( මධ්‍යයම නිකාය- මහා චත්තාරික සූත්‍රය) මෙය එකිනෙකට වෙනස් අරමුණු වලට පදනම් වන දෘෂ්ඨීන්ය.

බුදු දහම සංවිධානය වු ආගමක් බවට පත්කර ගැනීමේදී ඒ සඳහා කටයුතු කල භික්ෂූන් මනා අවබෝධයකින් යුතුව මේ බෙදීමේ සීමාවන් සලකුනු කර ඇති බව පෙනේ. පරමාර්ථ ධර්ම පිලිබඳව සංකල්ප ගොනුකල ත්‍රිපිටකය පොදු ජනයාගේ පරිහරනය පිනිස වූවක් නොවේ. පොදු ජනයා ඇදහූ බෞද්ධ ආගමට පදනම් වූයේ ජාතක කතා පොතයි. මෙය උගත්කම සහ නූගත්කම මත පදනම් වු බෙදීමක් නොවේ. ගැටලුව වන්නේ නූතන බෞද්ධ ආගම නිර්වචනය කර ගැනීමේදී මේ වෙනස නොසලකා හැරීමයි.

විශ්වයට, ලෝකයට හෝ මිනිසාට පරම, නියත හැඩයක්, අර්ථයක් නැති බව බුදු දහමේ මූලික ඉගැන්වීමයි. සියල්ල පැවැත්ම පිනිස දෙන ලද, සකස් කල( සංස්කාර) අර්ථයන්ය. පරම අර්ථයක් නැති විට රැකිය යුතු නියත සීමාවක්, නියමයක් හෝ සම්මුතියක් තිබිය නොහැක. සෝවාන් මාර්ගයේදී දුරැ කරන සක්කාය දිටිඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන සංයෝජනයන් නැති කිරීමෙන්  ලබන්නේ කිසිවක  නියත සීමාවක් නැති බවට ලබන අවබෝධයයි. මේ ඉගැන්වීම් කිසිවිටක ආගමක් බවට පත් නොවන්නේ එහි අරමුණ පැවැත්ම තීරනය නොවන නිසයි.

ආගම යනු සාමූහික පැවැත්ම සදහා ඉවහල්වන ඉගැන්වීමකි. එහි අරමුණ සමූහයක් තුල පැවැත්ම සඳහා ඉවහල්වන සීමාවන් ඇතිකර ගැනීමයි.  එය නෛතික මෙන්ම සදාචාරමය හෝ ආචාරධාර්මික සීමාවන් විය හැක. පින්, පවු, කුසල්, අකුසල් යනු බෞද්ධ ආගමේ මෙසේ ඇතිකර ගන්නා සීමාවන්ය. බෞද්ධ ආගම යනු ලෝකයේ පරම සත්‍යයන්, අර්ථයන් නැතිබව  පරම අර්ථයක් කරගෙන ගොඩ නැගුනු ආගමකි.

පරමාර්ථ සත්‍යයට පදනම වන්නේ මිනිසාගේ ඉන්ද්‍රිය හැකියාවේ ( පංචේනුද්‍රිය සහ මනස) පවතින  සීමාවන්ය. එනම් කාලය සහ අවකාශයයි. කාලය සහ අවකාශය දෙන ලද, සකස්කරන ලද අර්ථයන් හැටියට හදුන්වනවාට වඩා අර්ථ සැපයීම සදහාම (සංකල්පීය දැනුම නිර්මාණය කර ගැනීම) සකස්කර ගත් සංකල්පයන් සේ හැදින්වීම වඩා සුදුසුය. නමුත් මිනිසාට මේ සීමාවන් ඉක්මවා යා නොහැක. (හැකිනම් ආත්මීය ලෙස තමන් වසඟයේ පවත්වාගැනිමට හැකිවිය යුතුය)

සම්මුති සත්‍යයට පදනම් වන්නේ සාමූහිකත්වයයි. එනම් මිනිසා තම පැවැත්ම සදහා ඇතිකර ගන්නා සාමූහික සම්බන්ඳතාවයන්හි සීමාවන්ය.  ඉන්ද්‍රය හැකියාවන්ගේ සීමාවන් වෙනස්වීම (උදා. තාක්ෂනය) නිසා සාමූහික සීමාවන් වෙනස්කර ගැනීමට සිදු වුවත් පරමාර්ථයට පදනම් වන දෘෂ්ඨිය පරම දෘෂ්ඨියක් කර ගැනීම භයානකය. ද්‍රව්‍යය මත පදනම් වූ විද්‍යයාව, මාක්ස්වාදය, නලින්ගේ ලෝකය මෙන්ම බුදු දහමේ විභජ්ජවාදයද පරම අර්ථ කර ගැනීම නුසුදුසුය.     

අප මෙහි දක්වන්නේ අපේ අදහස පමනක් වුවත් එයට ඉතා සංඝත දෟෂ්ඨිමය පදනමක් ඇත. බුදු දහමේ ඥාණ විභාගයට පදනම වන්නේ සිව් පිලිසිඹියා ලෙස හදුන්වන ඥාණ හතරයි. එනම් අර්ථ ඥාණ, ධර්ම ඥාණ, නිරැක්ති ඥාණ සහ ප්‍රථිභා යන ඥාණයන්ය. මෙය ඉක්මවා යා හැකි කිසිදු ඥාණයක් මනුෂ්‍යයාට නැත. අප අර්ථ, නිරැක්ති ගැන කතා කරන්නේ මේ මත පදනම්ව මිස එහෙන් මෙහෙන් අහුලා ගන්නා ලද වචන, න්‍යයන් ඇසුරෙන් නොවේ. පසුව ඉඩ ලද අවස්ථාවක ඒගැන සවිස්තරව කතා කිරීමට උත්සාහ ගමු.

මෙහිදි අප සාහසික ලෙස සම්මත අරැත් ඉක්මවා භාෂාව භාවිතයට ගන්නේ නොදැන නොවේ. දෘෂ්ඨියට පදනම් වන සියලු සංඥා භාෂාමය නොවූවත් බොහෝ දෘෂ්ඨිවාද වලට පදනම් වන්නේ භාෂාවයි. බොහෝ දෙනා පවුරැ පදනම් නිර්මාණය කර ගෙන ඇත්තේද,  සැගවී සිටින්නේද වචන අස්සේය. 

බුදු දහම විද්‍යයාවට පාවාදෙන බවට බියවන බොහෝ අය නොදන්නේ විද්‍යයාව ගැන නොව බුදු දහම ගැනයි. බුදු දහම දර්ශණය, විද්‍යයාව, දේශපාලය, ආගම වැනි දෙන ලද අර්ථයක් නොවන නමුත් එම අර්ථයන් විසංකාරය කල හැකි දර්ශණයක් මෙන්ම එම අරමුණ ප්‍රත්‍යයක්ෂ කල හැකි මාර්ගයක්ද බුදු දහමේ ඇත. එම ප්‍රත්‍යයක්ෂය ( නිවන) වෙනත් ඕනෑම විද්‍යාවක්, දේශපාලනයක්, දර්ශණයක්, ආගමක් මිනිසාට ලබාදන අර්ථයකට වඩා යථාර්ථවාදීය.  කය, මනස (ද්‍රව්‍යය, විඥාණය) අතර ගැටලුව මෙන්ම ඇත, නැත (ද්විකොඨිකය) අතර ගැටලුවද බුදු දහම නිරවුල්ව විසඳා ඇත. සම්මුතියට පදනම් වන සාමූහිකත්වය, දේශපාලනය ගැනද කතාකල යුතු බැවින් විවේකය ලැබෙන ආකාරයට මේ පිලිබව කතා කරමු.

අන්‍යයන් දෙස බලමින් , ඔවුන්ට බිය වෙමින් ඔවුන් දෙපයින් සිටගෙන සිටින නිසා දේශපාලනික හෝ වෙනත් ඕනෑම අන්‍යයතාවයක් උදෙසා අප ඔලුවෙන් සිටගත යුතු නැත. මන්ද එවිට අපට දෙපයින් යා යුතුවන අපේ ගමන අහිමි වන බැවිනි.