Sunday, August 21, 2016

ගෝත්‍රිකත්වය, වර්ගිකත්වය, ජාතිකත්වය යනු එකම අර්ථයක් ඇති ක්‍රියාවලීන්ද?

බෞද්ධ දර්ශණයට අනුව මිනිසාට ලෝකය ඥාණනය කල හැකි  මූලික ක්‍රම දෙකක් ඇත. පලමු වැන්න ලක්ෂණ ලෙස දැකීමයි. දෙවැන්න කෘත්‍යය හෙවත් කාර්‍යය නොඑසේ නම් ක්‍රියාවන් ලෙස ලෝකය දැකීමයි. ලක්ෂණ යනු පංචේනද්‍රියට ගෝචරවන සංජානයන් ඇසුරෙන් මනස උපකාර කරගෙන සකස්කර ගන්නා සංකල්පීය දැනුමයි. මෙය ඉන්ද්‍රිය ප්‍රත්‍යයක්ෂ ඥාණය ලෙසද හැඳින්විය හැක. (මනසද ඉන්ද්‍රියකි) කෘත්‍යය හෙවත් කාර්‍යය යනු මෙම මූලික ලක්ෂණ ඇසුරෙන්  මනස විසින් සකස්කර ගන්නා හේතුව පිලිබඳ විචාර ඥාණයයි. (බෞද්ධ දර්ශණයේ පදනම හේතු-ථල ධර්මයයි)

මිනිස් සිතේ ක්‍රියාකාරීත්වය තුල සංඥා, වචන ( සියලු සංඥා වචන නොවුනත් සියලු වචන සංඥා වේ) වැදගත් කාර්යයක් ඉටු කරයි. මෙහිදී භාෂා සංඥා සංකල්ප ගොනුවක්, ඇසුරැමක් ලෙස ක්‍රියාකරයි. මේ සංකල්ප ගොනුවෙහි  රෑප ලක්ෂණ ඇසුරෙන් සකස් කර ගත් සංකල්ප මෙන්ම කාර්යයන් හඟවන සංකල්පයන්ද ඇත. මෙහිදී ලක්ෂණ ප්‍රථමික සංකල්ප වන අතර කාර්‍යය ද්වීතීක සංකල්ප වෙයි. උදාහරනයක් ඇසුරෙන් මෙය වටහා ගැනීම පහසු විය හැක.

අප 'පොල් ගස' ලෙස හඳුන්වන්නේ කුමක්ද? අතු, ඉති, මල්, ගෙඩි, කඳ, මුල් ආදියෙන් සමන්විත විශේෂ  ලක්ෂණ සහිත ශාඛ වර්ගයක් අපි 'පොල් ගස' යන සංඥාවෙන් හදුන්වමු. (මෙහි ඇසට පෙනෙන දෘෂ්‍යය රෑප ලක්ෂණ පමනක් නොව, ගස සෙලවෙන හඬ ආදී ශබ්ද රෑප ලක්ෂණද, ඇල්ලූ විට දැනෙන ස්පර්ශ රෑප ලක්ෂණද මෙයට ඇතුලත්ය. අවශ්‍යයනම් දිවගා බලා රස රෑප ලක්ෂණද, ඉඹ බලා ගංධ රෑප ලක්ෂණද හඳුනාගත හැකඅතු, ඉති, මල්, ගෙඩි, කඳ, මුල් ආදී  නම්, සංඥාවන් හඳුනාගත හැකිවන්නේ, වර්ණය, හැඩය, ප්‍රමාණය ආදී මූලික රෑප  ලක්ෂණ ඇසුරෙනි. පොල් ගස යනු මේ ලක්ෂණ සියල්ලෙහි එකතුවක් ලෙස හඳුනාගන්නා ඝන සංඥාවකි

පොල් ගෙඩියකින් පැලයක් හටගෙන , වැඩී, අතු, ඉති  නිර්මාණය වී, මල්, ගෙඩි හට ගන්නා කාලයත් සමග  පොල් ගසෙහි වෙනස්වීම පිලිබඳව දැනුමක්ද 'පොල් ගස' ගැන අපට ඇත. පැලවීම, වැඩීම, අතු, ඉති , ගෙඩි, මල් හට ගැනීම ආදිය කෘත්‍යය හෙවත් කාර්යයන්ය. එපමනක් නොව මුල් වලින් පෝෂක ද්‍රව්‍යය උරාගෙන, කඳ ඔස්සේ අතු, ඉති, පත්‍ර දක්වා ගමන් කර, වාතය හා හිරැ එලිය මගින් පත්‍ර තුල ආහාර නිෂ්පාදනය කරගනිමින්, එවා නැවත මල්, ගෙඩි වෙත ගෙන යමින් අවකාශය තුල සිදුවන වෙනස්වීමක්, කාර්යයන් සමූහයක් පිලිබදවද පොල් ගස පිලිබඳව අපි දනිමු. මෙම කාලය සහ අවකාශය ඇසුරෙන් සකස්කර ගන්නා සංකල්පීය දැනුම කෘත්‍යය හෙවත් කාර්යන් ලෙස පොල් ගස පිලිබඳව වන දැනුමයි. මෙම දැනුම ඍජුව පංචේන්ද්‍රියට ගෝචර වන්නේ නැත. පංචේන්දියට ගෝචර වන රෑප ලක්ෂණ ඇසුරෙන් එම ලක්ෂණ වල වෙනස්වීමට හේතුව ලෙස මනස විසින් මෙම කාර්‍යයන් පිලිබඳව සංකල්ප නිර්මාණය කර ගැනේ.

මෙලෙස කාර්‍යයන් එකිනෙකට හා සම්බන්ඳ වූ විට, කාර්‍යා-වලියක් හෙවත් ක්‍රියාවලියක් ලෙසද හැඳින්විය හැක. මෙය ක්‍රියාවලියක් ලෙස හැඳින්වුවද සැබැවින්ම වෙනස්වීමේ විවිධ කාල, අවකාශ මානයන් ඇති ක්‍රියාවලීන් සමූහයකි. අතු, ඉති, මල්, ගෙඩි, කඳ, මුල් ආදියද එකිනෙකට අන්‍යය වූ ක්‍රියාවලීන්යපොල් ගස මේ සියලු ක්‍රියාවලීන් සමූහයක එකතුවකි.

පොල් ගස පමනක් නොව ඉර, හඳ, තාරකා, මහ පොලොව, ඇල, දොල, ගංඟා, ගහ, කොල, සතුන්, මිනිසුන් ආදී  සියල්ල ක්‍රියාවලීන්ය. ලෝකයේ ඇත්තේ ක්‍රියාවලීන් මිස නොවෙනස්වන ද්‍රව්‍යය හෝ වස්තූන් නොවේ. ඉන්ද්‍රියන්ට ගෝචරවන රෑප ලක්ෂණ ඇසුරෙන් මේ ක්‍රියාවලීන් අනෙක් දේ අතරින් වෙන්කර ද්‍රව්‍යය හෝ වස්තූන් ලෙස අප විසින් නම් කර ගනී. මේ නම් කරගත් ද්‍රව්‍යය හෝ වස්තූන්වල චලනය, වෙනස්වීම ක්‍රියාවන් ලෙස අප විසින් නම් කර ගනිමු'නාම රැප පච්චයා විඥාණංලෙස දක්වන්නේ මේ රෑප ලක්ෂණ සහ නම් වල එකතුවෙන් විඥාණය හෙවත් දැනුම නිර්මාණය වීමේ ක්‍රියාවලියයි.

ක්‍රියාවලීන් ලෙස මෙහි හඳුන්වන්නේ  ලොකයේ ස්වභාවය නොවේ. ලෝකයේ ස්වභාවය පිලිබඳව මිනිසා සතු  සංකල්පීය දැනුමයි. එම දැනුමට පිටින් භෞථිකව හෝ පාරභෟථිකව කිසිවකට පැවතිය නොහැක. (එසේ පවතීයැයි භෞථිකව හෝ මානසිකව ඇති විස්වාසය දෘෂ්ඨිමය අන්තයන්ය) බුදු දහමේ පට්ච්ඡ සමුප්පාදය, අර්යය අංඨාංගික මාර්ගය යනාදී ලෙස පැහැදිලි කරන්නේද දුක හට ගැනීමත්, දුකින් මිදීමත් පිලිබඳව ක්‍රියාවලින් ලෙස කරන පැහැදිලි කිරීම්ය. මෙහිදී අපේ අරමුණ (චේතනාව) බුදුන්වහන්සේගේ අරමුණ වූ සංකල්පීය දැනුමෙන් මිදීම (නිවන) නොවන නමුත් දැනුම නිර්මාණය සඳහාද යොදාගැනීමට සිදුවන්නේද මිනිස් සිතේ වන මේ නිසඟ ස්වාභාවයමය.

නලින් සිල්වා මහතා 'මගෙ ලෝකය' කෘතියෙහිද ක්‍රියාවලීන් පිලිබඳව සදහන් කර තිබුනි. මෙහිදී ඒ ගැන කතා කිරීමේ අදහසක්ද අපට නැත.අපට වැදගත්වන්නේ ලෝකය වාස්තවිකද, නැද්ද, අපෙන් බාහිර වූ ලොකයක් පවතීද, දැනුම අපේද, අනෙකෙකුගේද යන කරැනුවලට වඩා ලෝකය තේරැම් ගැනීමට සහ වෙනස්කර ගැනීමට එමගින් ලැබෙන උපයෝගීතාවයයි. නමුත් ක්‍රියාවලීන් පිලිබඳ සංකල්පය සමාජගත කිරීමේ ගෞරවය එතුමාට පුදකිරීමට අප මැලිවන්නේ නැත.

ක්‍රියාවලීන් පිලිබඳ මේ  සංකල්පයෙහි ඇති වැදගත්කම වන්නේ එමගින් අපට ලෝකයේ ස්වභාවය වඩා  නිවැරදිව වටහා ගත හැකි වීමයි. නිවැරදිවීම යනු සත්‍යය පිලිබද ගැටලුවක් නොව උපයෝගීතාවය පිලිබඳව ගැටලුවකි. (සත්‍යය පිලිබඳව ගැටලු තිබිය හැක්කේ දෙවියන්ගේ පරම සත්‍යය පිලිබඳව විස්වාසය අතහැර ගත නොහැකි වූ අයටයි)  ගස්,ගල් වැනි ඉන්ද්‍රියන්ට ගෝචරවන බොහෝ සංසිද්ධීන් තේරැම් ගැනීමට පවතින දැනුම ප්‍රමානවත් විය හැකි වුවත් ඝෘජුව ඉන්ද්‍රියන්ට ගොචර නොවන මනස, විඥාණය, කාලය, අවකාශය,ගෝත්‍රය, වර්ගය, ජාතිය වැනි සංකල්ප පමනක් නොව පරමානු, අංශු, විශ්වය වැනි සංකල්ප  තේරැම් ගැනීමටද ක්‍රියාවලීන් පිලිබඳ මෙම සංකල්පය උපකාරී වෙයිලෝකයේ ස්වභාවය වන අනවරත වෙනස්වීම ලක්ෂණ ඇසුරෙන් පමනක් වටහාගත නොහැක. පංචේන්ද්‍රයට  ගෝචර වන්නේ රෑප ලක්ෂණ වල ඉතා කුඩා පරාසයක් පමනි. බෞද්ධ දර්ශණයට අනුව වඩා වැදගත් වන්නේ ලක්ෂණ ලෙස දකින ලොකය නොව කෘත්‍යය හෙවත් කාර්‍යයන් ලෙස අප විසින් ආකෘති ගත කරගන්නා ලෝකයයි .

දැනුම යනු පුද්ගල නිර්මාණයන් නොව සාමූහික නිර්මාණයකි. පුද්ගලයා මෙන්ම සාමූහිකත්වය නිර්මාණය කරන්නේද සංඥා මුල්කර ගත් සංකල්පීය දැනුමයි. පුද්ගලයා විසින් කරන්නේ මේ දැනුම සංස්කරණය (සංස්කාර) කිරීමකි. (සංකල්පීය දැනුමෙන් මිදීම වන නිවන සඳහා සමූහයෙන් වෙන්වීම, නෙක්කම්ය, අභිනිෂ්ක්‍රමය අවශ්‍යය වන්නේද මේ නිසයි) සමූහය අතර දැනුම සංනිවේදනය සිදුවන එකම මාධ්‍යය භාෂාව නොවූවත් භාෂාව වඩා වැදගත්ම මාධ්‍යයි. මෙමගින් පුද්ගලයින් තුල විඥාණය ගොඩ නැගෙන ආකාරයටම සාමූහයා තුලද සමූහික විඥාණයක්ද නිර්මාණය වෙයි. ගෝත්‍රය, වර්ගය, ජාතිය යනු මෙවැනි සාමූහික විඥාණයන්ය. වර්ථමාණයේ ගෝලීයකරණය වූ ලෝකයක් තුල ගෝලීය වූ සාමූහික විඥාණයක්ද ඇත. මේ නිසා ගෝත්‍රය, වර්ගය, ජාතිය මෙන්ම ගෝලීය වූ විඥාණයකින්ද  වෙන්ව  සිටීමේ හැකියාවක්  වර්ථමාන ශික්ෂිත, සංස්කෘතික මනුෂ්‍යයෙකුට නැත.

ක්‍රියාවලීන් ලෙස සාමූහික සමාජයක් යනු පුද්ගල සමූහයකගේ කාර්‍යයන්, ක්‍රියාවන්ගේ එකතුවකි. (ශ්‍රමය යනු මෙහි ප්‍රථිපලයකි) පුද්ගලයා විසින් ඉටුකරන්නේ මේ සාමූහික ක්‍රියාවලියෙන් යම් නිෂ්චිත, සීමිත කාර්යයන් ප්‍රමාණයක් පමනි. පුද්ගලයා බොහෝ විට සවිඥානික වන්නේද මේ සීමිත කාර්යයන් සඳහාය. මේ නිසා සාමූහික  විඥාණය පුද්ගලයින් සමූහයකගේ එකතුවකට වඩා වැඩි දෙයකි. පුද්ගලයාද ඉන්ද්‍රිය, ආයතන, කායික අංගයන්ගේ එකතුවකට වඩා වැඩි දෙයකි. පුද්ගලයා මෙම වැඩි දෙය ආත්මයක් ලෙස අදහන, විස්වාස කරන ආකාරයටම ගෝත්‍රය, වර්ගය හෝ ජාතිය ලෙස හැදින්වෙන සාමූහික විඥාණය පිලිබදවද මිනිසුන්ට ඇත්තේ විස්වාසයක් හෝ ඇදහීමකි.

පවුල, පාසල, වෘතිය, ගම, නගරය, පාලාත, ආගම, කුලය, රට, පංතිය ආදී විවිධ බෙදීම් මතද සාමූහික විඥාණයන් බිහිවිය හැක. මේ බෙදීම් හැම විටම නිෂ්ඵල බෙදීම් නොවේ. මිනිසාගේ පැවැත්ම පදනම් වන්නේ එකිනෙකා මත ඇති විස්වාසයි. නමුත් මෙහිදී අන්ධ භක්තිය මාරාන්තික විය හැක. විශේෂයෙන් දේශපාලනයේදී තමන් සලකුනු කරන බෙදීම් සීමාවන් මෙහිදී ඉතා වැදගත්ය. බෙදුම්වාදය බිහිවන්නේද මේ පිලිබඳව සවිඥානික නොවීම නිසයි.

ගෝත්‍රය, වර්ගය සහ ජාතිය යනු  එකම ක්‍රියාවලියක එකිනෙක කාල,අවකාශයන් තුල පවතින විවිධ අවස්ථාවන්යපොල් ගෙඩිය, පොල් පැලය සහ පොල් ගස යනුවෙන් හඳුන්වන්නේ 'පොල් ගස' නම් වූ ක්‍රියාවලියෙහි පවතින විවිධ අවස්ථාවන්ය. අනෙක් අතට යමෙකුට  පොල් ගෙඩිය, පොල් පැලය සහ පොල් ගස වෙන් වෙන් වූ ක්‍රියාවලීන් ලෙස පැවසීමටද පුළුවන. නමුත් දැනුම අධ්‍යයනයේදී  සමානකම් පමනක් සොයන සාධාරනීකරණය මෙන්ම වෙනස්කම් පමනක් සොයන විශේෂීකරණයද අන්තවාදීය. පොල් ගෙඩියත්, පොල් පැලයත්, පොල් ගසත් එකම දෙයක්  ලෙස සැලකීම  වැරදි නොවන ලෙසටම පොල් ගෙඩියත්, පොල් පැලයත්, පොල් ගසත් එකිනෙකට සම්බන්ද නොවූ වෙනස් වෙනස් දේ ලෙස සැලකීමද සම්පූර්න නිවැරදි අදහසක් නොවේ. මේ නිසා අප විසින් කල යුතු වන්නේ ජාතිය, වර්ගය සහ ගෝත්‍රය ක්‍රියාවලීන් ලෙස මේ අතර ඇති වෙනස්කම් සහ සමානකම් හඳුනා ගැනීමට උත්සාහ කිරීමයි.

ක්‍රියාවලීන් ලෙස කාලය සහ අවකාශය තුල සිදුවන වෙනස්වීම් අතර අනන්තව වූ අවස්ථාවන් තිබිය හැක. මේ අනන්ත වූ අවස්ථාවන් අතර අපට හදුනාගත හැකි වන්නේ  ලක්ෂණ ලෙස ගොචරවන සුවිශේෂී අවස්තාවන් පමනි.සාමූහිකත්වය තුල  ගෝත්‍රිකත්වය, වාර්ගිකත්වය, ජාතිකත්වය යනුවෙන් සඳහන් කරන්නේ මේ අතර ඇති සුවිශේෂී අවස්ථාවන්ය. මෙහිදී අපට නම්, සංඥා වලට  වඩා වැදගත්වන්නේ මේ සිදුවීම් වල ඇති සුවිශේෂී වෙනස්කම්ය.


චමිල් විතාන