Jun 30, 2016

මේ මගේ අදහසයි.


සම්මා දිට්ඨි කියන බ්ලොග් එකත්, ඒ නමින්ම නම් කල ෆේස් බුක් ගිනුමත් ආරම්භ කලේ යම් අරමුණක් එක්ක. ඒක දේශපාලන වැඩක්. ඒ වැඩේ ගැන පුරසාරම් කියනවට වඩා නලින්ද සිල්වා මහතා ඒ විවේචන බාරගත් ආකාරය ගැන සතුටු වෙනව.

සම්මා දිට්ඨි කියන නම මේකට දැම්මෙ මම විස්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ලෝකය දකින්න සුදුසු දැක්මක් එම සංකල්පයෙ තියෙන නිසා. නමුත් ඒක බෞද්ධ ආගම ප්‍රචාරය කරන්න කරපු දෙයක් නෙමේ. මට හිතෙන ඕනෑම අදහසක් මම එකෙ කතා කරනව.

මම ලියන්නෙ මගේ අදහස්. බුදු දහම කියල මම ලියන්නෙ මම දන්න, මම විස්වාස කරන, මට තේරෙන  බුදු දහම. බුදු දහම ගැන කාටවත්, ඊට වඩා දෙයක් කියන්න  පුලුවන් කියල මම හිතන්නෙ නෑ. හැමෝම කියන්නෙ තම තමන් බුදු දහම කියල විස්වාස කරන දේ. බුදු දහම ගැන විතරක් නෙමේ, කිතුනු, ඉස්ලාම්,හින්දු වගේ ආගම් ගැනත් කවුරැ කරන්නෙත් ඔය ටිකම තමයි. මාක්ස්වාදය, ලිබරල්වාදය, විද්‍යයාව, දර්ශනය ඔය කොයි දේ ගැන උනත් අපිට කතා කරන්න වෙන්නෙ අපේ වැටහීමත් එක්ක.

මෙතනදි මම හිතන්නෙ වැදගත්ම දේ වෙන්නෙ අපි දරන අදහසට අපි කොයි තරම් අවංක වෙන්න පුලුවන්ද කියන එක. අපිට වැටහෙන ඕනෑම අදහසක් දරන්න, කතාකරන්න, ලියන්න අපිට පුලුවන්. නමුත් ඒ අයිතියත් එක්ක අපිට වගකීමකුත් තියෙනව.

සම්මා දිට්ඨි නමින් ෆේස්බුක් ගිනුම ආරම්භ කලාට පස්සෙ උනේ මම නොහිතපු වැඩක්. එක දිගට මිතුරැ ඉල්ලීම් එන්න ගත්තෙ සිය ගණනින්. දැනට යාලුවො 3000 විතර හිටියට මම ඉල්ලල යාලු උනේ 30-40 වගේ ගණනක් විතරයි. දන්න අය ඉන්නෙ අතේ ඇගිලි ගණනට. පුදුමෙ ඒක නෙමේ. මේකෙන් සිය ගානණක්වත් මම ලියන දේ කියවන අය නොවන එක.

ආගමේ හොඳ ගැන කතා කරනව වගේම මේ භයානක පැත්ත ගැනත් අපට කතා නොකර බෑ. මේ වගේ අධි තක්සේරැ වූ වචනයක්, සංකල්පයක්, අදහසක් ඉදිරියට දාගෙන තමන්ගෙ පටු අරමුණු ඉටුකර ගන්න උත්සාහ කිරීම කොයි තරම් භයානක වෙන්න පුලුවන්ද? ඇත්තටම දැනට ආගමේ නමින් බොහෝ විට සිද්ධ වෙන්නෙත් මේ දේම තමයි. 

මේක ආගමේ විතරක් වෙන දේකුත් නෙමෙයි. නුතන ධනවාදයෙ ව්‍යයාපාරික උපක්‍රමය වෙන්නෙත් මේකමයි. දැන්වීම් වලින් ගොඩ නගන වෙළඳනම්, සංඥා මත විවිධාකාර වූ සංකල්පීය අගයන් නිර්මාණය කිරීම තමයි ප්‍රග්ධනය ඔස්සේ කෙරෙන්නෙ. නුතන ධනවාදය ගැන අපිට තියෙන ප්‍රබලම විවේචනය වෙන්නෙත් මෙහි ඇති වගකීම් විරහිත බව. මේකෙ කොයි තරම් දුර ගිහිල්ලද කියනවනම් අද පුද්ගලයට තමන් කෙරෙහි ඇති වගකීම පවා පේන්නෙ නෑ. ආගමයි, ධනවාදයයි දෙකම එකතුවෙන එක ගින්දරයි, පුලුනුයි එකතුවෙනව වගේ තමයි.

අපි (එහෙම ලිව්වට මම විතරයි) ශාස්ත්‍රීය බුද්ධිමතුන්වත්, මාධ්‍යයවල බැබලෙන කීර්තිමත් චරිතවත් නෙවෙයි. ලෝකයෙක් එතෙර වෙලා නැති හන්ද කියන, ලියන දේ පිරිසක් අතර බෙදාගන්න, පිලි ගැනීමක් ඇතිකරගන්න තියෙන මිනිස් ආසාව අපටත් තියෙනව. ලොකය හදන්න, වෙනස් කරන්න, විප්ලව කරන්න බැරි බවත් අපි හොදින්ම දන්නව. ඒ උනත් සමාජීය සත්වයෙකු හැටියට ඇති වගකීමෙන් සම්පූරයෙන් බැහැර වෙන්න බැරි බවත් ඒ තරමටම අපි දන්නව.


ෆේස්බුක් ගිනුම පුද්ගලික නමට මාරැ කලේ  තමන්ගෙ අදහස් පිලිබදව වගකීමක් පුද්ගලයාට ඇති බව අප විස්වාස කරන නිසයි. අන්‍යයතාවය අතුරැ ඵලයක් විතරයි.