Jun 23, 2016

3. අශෝකගේ බුද්ධාගම- බෞද්ධ ආගම සහ නිර් ආගමික බුදු දහම

ඕනෑම සංස්කෘතියක් බිහිවන්නේ විවිධ වූ අන්‍යයතා සහිතවයි. මිනිසා සත්ව ලෝකයෙන් වෙන්ව ඇරඹු සංස්කෘතික පරිනාමයට විවිධ හේතු තිබිය හැක. වසර පුරා හිරැට නිරාවරනය වූ  විවෘත අහසක අසිරිය විඳින ආසියානුවාට  අසීමිත අවකාශය සහ එහි වෙනස්වීම් හොඳින් දැනේ. නමුත් පොලොවේ ඇති වන පරිසර වෙනස්කම් සීමිත බැවින් කාලය ඔවුන්ට හොඳින් දැනෙන දෙයක් නොවේ. අඳුරැ අහසට හුරැවූ  යුරෝපීයයා දකින අවකාශය සීමිත වුවත් ඝෘතු විපර්යාස බහුල බැවින් කාලය පිලිබදව ඉතා සංවේදීය. යුරෝපීයයන්ට ලෝකය අභියෝගයක් සේ දැනනෙන්නේද, අසියානුවන්ට තමන්ම අභියෝගයක් සේ දැනෙන්නේද මේ නිසා විය හැක. හේතුව කුමක් වුවත් යුරෝපයේ දේවවාදය සහ බෞද්ධ අදේවවාදය සුවිශේෂී සංස්කෘතික සහ චින්තන අන්‍යයතාවයන් දෙකක් වන බවට සැකයක් නැත.

ආසියානු සංස්කෘතික අන්‍යයතාවය තුල බුදුන් වහන්සේ විශිෂ්ඨයෙකු බව පිලිනොගන්නා අයෙකු සිටීයැයි මම නොසිතමි. නමුත් මේ බොහෝ දෙනාගේ විස්වාසය වන්නේ  උන් වහන්සේ ආගමික ශාස්තෘවරයෙකු පමනක් බවයි.  එසේ වුවත් සිද්ධාර්ථ ගෞථමයන්ගේ අවසාන අරමුණ වූයේ ආගමෙන් ගැලවෙන මාර්ගයක් සොයා ගැනීමයි.

බුද්ධ කාලීන ඉන්දියානු ඉතිහාසය හදාරන විට එම යුගයේ ඉන්දියාවේ පැවති නොයෙකුත් ආගම්, විස්වාස, ඇදහීම් පිලිබදව වටහා ගතහැක. සංවිධානය වූ ආගම් බිහිව නොතිබුනු මේ යුගයේ සාම්ප්‍රදායික ඇදීහීම්  හා විස්වාසයන් පිලිබඳව විචාරයට ලක්වූ විප්ලවීය යුගයක් වු බව පෙනේ. සාම්ප්‍රදායට එරෙහි වූ විවිධ ශාතෘවරැන් නව අදහස් බිහිකරමින් විවෘත ලෙස සංවාදයේ යෙදුනු බවත්, සිද්ධාර්ථ ගෞථමයන්ද මේ ශාතෘවරැන් ඇසුරෙන් සත්‍යය සොයා ගැනීමට උත්සාහකල බවත් බෞද්ධ ඉතිහාසයෙන් තහවරැ වෙයි.  අවසානයේ මේ සියල්ල නිෂ්ඵල උත්සාහයන් බව උන්වහන්සේට වැටහින. උන්වහන්සේ විමුක්තිය ලබන්නේ සියලු ආන්තික මතවාද, දෘෂ්ඨිවාද අතහැරදැමීමෙනි.

දෘෂ්ඨියේ ඇත්තේ මූලික අන්තයන් දෙකකි. ඒ  විඥාණවාදය සහ භෞථිකවාදයි. බුදු දහමේ ශාස්ත්‍රවක දෘෂ්ඨිය සහ උච්ඡේද දෟෂ්ඨිය ලෙස හදුන්වන මේ අන්තයන් උන් වහන්සේ  පැහැදිලිව ප්‍රථික්ෂේප කලේය. මේ අන්තයන් මත පදනම් වූ එකල දඹදිව පැවැති හැට දෙකක් පමන වූ ආගමික ඇදහීම් හා  විස්වාසයන්ද  නිරර්ථක උත්සාහන් බව උන් වහන්සේ පෙන්වා දුන්හ. උන්වහන්සේ තම ධර්මය හදුන්වාදුන්නේ මැදුම් පිලිවෙත ලෙසයි. එම දහම  අවබෝධකරගත්  රහතන් වහන්සේලා හඳුන්වන නම් අතරවන එක් නාමයක් වූයේ අශ්‍රද්ධා යන්නයි. එහි අදහස වන්නේ ශ්‍රද්ධාව හෙවත් විස්වාසය, ඇදහීම අවශ්‍යය නොවන, කිසිදු විස්වාසයකට, ඇදහීමකට නොබැඳෙන පිරිසක් බවයි. ආගම විස්වාස මත පදනම් වූ ඇදහීමක් නම් විස්වාසයෙන් නොඅදහන පිරිස නිර් ආගමිකයින් පිරිසකි. බුදු දහමේ කියවෙන මූලික අදහස වන්නේ පැවැත්ම තුල මිනිසාට සැබෑ නිදහසක් ලැබිය නොහැකි බවයි. නිදහස ලැබීමටනම් පැවැත්ම පිලිබදව ඇති ආශාව අත්හල යුතුය.

ත්‍රිපිටකයට අනුව බුද්ධත්වයෙන් 25 වසරක් ගතවන තුරැ තම අනුගාමික භික්ෂුන්ට කිසිදු සීමාවක් පැනවීමට බුදුන් වහන්සේ උත්සාහ ගත්තේ නැත. බුදුන් වහන්සේ තම අනුගාමිකයින්ට පලමු විනය නිතිය පනවන්නේ 25 වසරකට පසුය. යමෙකුට අවශයයනම් බෞද්ධ ආගම බිහිවන්නේ මේ අවස්තාවේ බවට තර්ක කල හැක.  නමුත් පොල් පැලයක්, පොල් ගසක් බවට පත්වන අවස්තාව නිෂ්චිතව කිසිවෙකුට පැවසිය හැකිද?

පරිනිර්වානය අවස්තාවේ භික්ෂුන් බුදුන් වහන්සේගෙන් විමසන්නේ උන් වහන්සේගෙන් පසු කවුරැන් නායකත්වයට පත්විය යුතුද යන්නයි. මෙහිදී උන්වහන්සේ දේශනා කරන්නේ තමන්ගෙන් පසු ධර්ම විනයම නායකත්වයේ තබාගෙන කටයුතු කරන ලෙසයි. මෙහිදී බුදුන් වහන්සේ ප්‍රථිෂේප කරන්නේ නායකයෙකු බිහිකිරීම පමනක් නොව ආයතනයක් ලෙස සංවිධානය වීමද ප්‍රථිෂේප කරයි.  

එසේ වුවත් බුදුන් වහන්සේගෙන් පසුව ශ්‍රවකයින්ට එම දැනුම පවත්වාගෙන යාමට යම් යම් පියවරයන් ගැනීමට සිදුවීම ස්වභාවිකය. පලමු සහ දෙවන ධර්ම සංගාවනාවන්හිදී භික්ෂූන් මුන දුන් බරපතලම ගැටලුව වන්නට ඇත්තේද මෙයයි. පැවැත්ම සහ සංවිධානය වීම පිලිනොගන්නා ධර්මයක් පවත්වා ගැනිමට සංවිධානය වීම කල යුත්තේ කෙසේද? 

කෙසේ වුවත්  බුදු දහම සංවිධානය වූ, වර්තමාන අර්ථයට අනුව ආගමක් බවට පත්වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වානයෙන් සියවස් කීපයකට පසු ධර්මාශෝක අධිරාජ්‍යයා ගෙනගිය ආගමික සහ දේශපාලන ව්‍යයාපාරය තුලයි. සමහර විද්වතුන් මෙය හඳුන්වන්නේ අශෝක ආගම ලෙසයි. අප රටට බෞද්ධ ආගම ලැබෙන්නේ මේ  ව්‍යාපාරය ඔස්සේ බවත් , රාජ්‍යය ආගම ලෙස එය සංවිධානය වූ අකාරය පිලිබදවත් අප හොඳින් දනි.

ත්‍රිපිටකය වචනාර්තයෙන් කියවීම පිලිබඳව මගේ වැඩි කැමැත්තක් නැතත් බුදුන් වහන්සේගේ අරමුණ සහ දැක්මෙහි තිබූ තියුනු බව පෙන්වාදිමට ගෝතමී සූත්‍රයේ ඇති සඳහනක් ගෙනහැර දැක්විය හැක. එයට අනුව තමන් පෙන්වා දුන් සාසන බ්‍රහ්ම වරියාව පවතින්නේ වසර පන්සීයකි. මෙහි සාසන බ්‍රහ්ම වර්‍යාව ලෙස හදුන්වන්නේ ආගමක් බවට පත්නොවූ බුදු දහමයි.  

යුරෝපය මුල්කරගෙන යේසුස්  වහන්සේ ගෙන ගිය ආගමික ව්‍යයාපාරය සහ අරාබිය මුල්කරගෙන මහම්මත් තුමා ගෙන ගිය ආගමික ව්‍යයාපාරය හා සැසදුවිට බුදු වහන්සේගේ ආගමික ව්‍යයාපාරය පැහිදිලිව වෙනස්වෙයි. ක්‍රිස්තුස් වහන්සේ සහ මහම්මත් තුමා තම ආගම දේශනා කරන්නේ ඝෘජුවම දේශපාලන බල අධිකාරීන්ට  කරන අභියෝගයක් ලෙසයි. ඒවා පැහැදිලිවම ආගම්ය. බුදුන් වහන්සේ කිසි විටක රාජ්‍යයට හෝ දේශපාලනයට අභියෝග නොකල පමනක් නොව රාජ්‍යයයෙන්, සමාජයෙන් හැකි තරම් ඈත්ව විසීමට උත්සාහ යුතු බවට භික්ෂූන්ට නියම කලේය.  බුදුන් වහන්සේ රජ පවුලකට සම්බන්ඳ වූවෙකු වුවත් ඒ සම්බන්දතාවයන් හරහා ආගම ව්‍යයාප්ත කීරීමට උත්සාහකල බවක් හෝ තමන් ඇසුරැකල රජවරැන්ගෙන් එවැනි අවස්ථාවන් බලාපොරෙතුතු වූ බවක් හෝ කිසිදු සඳහනක් නැත. බෞද්ධ දර්ශණයට අනුවම ජනතාව සංවිධානය කිරීම හෝ සංවිධාන ව්‍යුහයක් බිහි කිරීමට බුදු දහමේ අරමුනු සමග එකඟතාවයක් නැත.

අශෝක අධිරාජ්‍යයාගේ ආගමික ව්‍යයාපාරය තුල නිර් ආගමික බුදු දහම  ආගමක් බවට පත්කර ගැනීමට සිදුවීම බරපතල අභියෝගයක් බවට පත්වූවාට සැකයක් නැත. ආගමක් යනු යම් නිශ්චිත කාර්‍යයක්, අරමුණක් සහිතව ගොඩනැගුනු සංකල්ප පද්දතියකි.  නීතිය, සදාචාරය සහ ආචාරධර්මීය සම්මත එකඟතාවයන් තුල මනුෂ්‍යයාගේ සාමූහික ක්‍රියාකාරකම් පාලනය කර ගැනීම ආගම්වල මූලික කාර්‍යයයි. මෙය බෞද්ධාගමේ පමනක් නොව ඕනෑම ආගමක මූලික අරමුණයි.

සියලු මනුෂ්‍යය සම්මතයන්, සීමාවන් පමනක් නොව පැවැත්මෙන් පවා  මිදීමක් පිලිබඳව ඉගැන්වෙන නිර් ආගමික  බුදු දහම සීමාවන් පනවා ගන්නා බෞද්ධ ආගම බවට පත්කර ගැනීමට ගත් උත්සාහය බෞද්ධ පාර්ශවයන් අතර විවිධ මත ගැටුම් සඳහාද හේතු විය. මහා යාන, ථේරවාද ආදී විවිධ ආගමික විස්වාසයන් සහ පාර්ශවික බෙදීම් සඳහාද මුල් වන්නේ මෙයයි. මෙහිදී යොදාගත් ථේරවාදීන්ගේ උපක්‍රමය වූයේ පරමාර්ථ සත්‍යය සහ සම්මුති සත්‍යය ලෙස බුදු දහම බෙදා ගැනීමයි. පරමාර්ථ සත්‍යය ලෙස නිර් ආගමික බුදු දහමත්, සම්මුති සත්‍යය ලෙස බෞද්ධ ආගමත් වෙන්කර ගැනුනි.මෙරට බුදු දහමට පදනම් වන්නේද මේ මතවාදයයි. මහායානය මෙවැනි බෙදීමකට අනුකූල නොවූ අතර මේ නිසාම වඩා විසුරැනු ආගමික විස්වාසයන් ලෙස එය ව්‍යයාප්ත විය.
නූතන බෞද්ධයින් බොහෝ දෙනෙකු නොදන්නා නමුත් පරමාර්ථ සත්‍යය විමසන නිර්ආගමික බුදු දහමේ පදනම වන්නේ ත්‍රිපිටකයයි. සම්මුති සත්‍යය පෙන්වාදෙන බෞද්ධ ආගමට පදනම වන්නේ ජාතික කතා පොතයි. අප බෞද්ධ ආගම ප්‍රතිකෂේප නොකලත් නූතන බෞද්ධ අගම මේ බෙදීමේ ඇති වැදගත්කම නොසැලකිම නිසා බරපතල සමාජ වියවුලක් නිර්මානය කරගෙන ඇති බවනම් පිලිගත යුතුයි.



චමිල් විතාන