Jul 14, 2016

ජාතිකත්වය යනු කුනුහරැපයක්ද?

ශ්‍රී ලංකාව නිදහස ලබා මේවන විට දශක හතකට ආසන්න කාලයක් ගත වී ඇත. මෙයින් අඩකටත් වඩා වැඩි කාලයක් ගත වී ඇත්තේ දරැනු සන්නද්ධ ගැටුම් මැදයි. දකුනේ මෙන්ම උතුරේද ඇතිවූ ගැටුම් හේතුවෙන්  ජාතියට අහිමි වූ ජීවිත ප්‍රරමාණය ගණනය කල යුත්තේ දහස් ගණන් වලින් නොව ලක්ෂ ගණන් වලිනි. අහිමි වූ ධනය සහ උදාවිය හැකිව තිබූ අවස්ථාවන් කිසිදා ගණනය කිරීමේ හැකියාවක් පවා නැත. මෙයින්  දකුනේ සිදුවූ අරගලයන් ඝාජු වාර්ගික අරගලයන් සේ දිස් නොවූවත් සමාජයේ ස්ථාපිතව පැවති කුලය  වැනි සාම්ප්‍රදායික බෙදීම් මේ අරගලයන් සඳහා හේතු වූ බව පිලිගත යුතුය. උතුරේ අරගලය ඇවිල යන්නේ ඝෘජුවම වාර්ගික අරගලයක් ලෙසයි.

මෙම අරගලයන්ගේ  ජයග්‍රහකයින්  නැති බව තේරැම් නොගත් පිරිස් තවමත් සිටීදැයි මම නොදනිමි.ලංකීය ජාතියක් ලෙස එක්සත් බවක් ඇතිකර ගැනීමට ගත් උත්සාහයන් සහ උපක්‍රමයන් පිලිබඳවත්, ලැබූ ප්‍රථිපල  පිලිබඳවත්  සතුටට පත්වන අය ගැන නම් අපට ඇති කරගත හැක්කේ සංවේගයක් පමනි. රටක් ලෙස වර්ථමානයේ  මුහුන දී සිටින ආර්ථික, සමාජීය, දේශපාලනික අර්බුධයන් අනුව සුබවාදී අනාගතයක් පිලිබඳව බලාපොරොත්තු ඇතිකර ගැනීමට නම් ඉතා තීරනාත්මක වෙනසක් අත්‍යයවශ්‍ය වෙයි. ජාතීන් අතර එකඟතාවන් ඇතිකර ගැනීම, නීතියේ අධිපත්‍ය තහවරැ කිරීම, දූෂණ හා වංචා වැලැක්වීම, දේශපාලන ස්ථාවරත්වයක් ඇතිකර ගැනීම, රටට ගැලපෙන  ව්‍යවස්ථාපිත  ප්‍රථිසංස්කරන ඇතිකර ගැනීම, ජාත්‍යයන්තර බලපෑම්වලට මූන දීම, ආර්ථිකයේ සහ විදේශ මූල්‍ය තත්වය වර්ධනය කර ගැනීම, ජනතාවගේ ජීවන වියදම් හා දරිද්‍රතාවය, අධ්‍යයාපන, සෞඛ්‍යය, ප්‍රවාහන වැනි ක්ෂේත්‍රයන්හි  ගරාවැටීම, අපරාධ සහ සංස්කෘතික සදාචාරයේ පිරීහීම  වැනි බොහෝ ගැටලු එකම මූලයකින් හටගන්නා  ගැටලුවක විවිධ මානයන් පමනක් බව අපේ අදහසයි.

ජාතිය හෝ'ජාතිකත්වය' යන වචනය ඇසෙන විට සමහරැන්ට දැනෙන්නේ  'කුනුහරැපයක්' ඇසෙන විට දැනෙන අප්‍රසන්න හැඟීමකි. සමහරැන්ට මේ වචනය ඇසෙනවිට ඇඟ කිලිපොළායන භීතියක් දැනේ. තවත් සමහරැන්ට එය දැනෙන්නේ  අහාරයක් භුක්ති විඳිනවිට දැනෙන මිහිරි රසයකි. මෙම වචනය ඇසෙන විට අභිමානයට පත්වන පුද්ගලයින්ද සිටී.

භාෂාවේ සංඥාවක, වචනයක අර්ථය පුද්ගලයා තුල ඇති සංකල්ප,  ඇගයීම් සහ විඳින ලද  අද්දැකීම් මත තීරනය වන්නකි. වචන වලට නිසඟ අරැත් නැත. 'ජාතිකත්වය' පිලිබඳ අප තුල ඇති ආකල්ප තීරනය වන්නේද මේ අනුවමය. ජාතිවාදය සහ ජාතිකවාදය අතර ඇති වෙනස එක අකුරක ඇති වෙනස නොවේ. අපට වුවමනා ආකාරයට වචන නිර්මාණය කර ගත නොහැකි නමුත් වචනවල ඇති සංකල්ප හා ඇගයීම් අපට වෙනස්කර ගත හැක. මහින්ද රාජපක්ෂ තව කලක් රට පාලනය කලේ නම් 'ජාතිකත්වය' නම ඇසෙන විට  පිලිකුලක්,භීතියක්, ලැජ්ජාවක්, මිහිරි රසයක්  දැනෙන තව බොහෝ පිරිසක් බිහි වන්නට ඉඩ තිබින.

ජාතිකත්වය ඉක්මවා යා හැකි දේශපාලනයක් ගැන කතා කිරීමට තරම් 'ලෝකය' තවම ලොකු ළමයෙකු වී නැත. මේ වනවිට ගෝලීය ආර්ථිකය වැලැක්විය නොහැකි තත්වයක් විය හැකි වුවත් රටක් ලෙස ආර්ථික හා සංස්කෘතික සුවිශේෂීතාවයන් උදෙසා දේශපාලණය කළමණාකරනය කර ගත යුතු වෙයි. ගෝලීයකරණය අප වැනි පරිධියේ රටවලට ගලා එන්නේ පිරිසුදු අරමුණු සහිතවම නොවේ. සමාජවාදී, ධනවාදී, මාක්ස්වාදී, ලිබරල්වාදී, නූතනවාදී හෝ පශ්චාත් නූතනවාදී වේවා දරන මතවාදය කුමක් වුවත් එයින් ජාතිකත්වය පිලිබඳ ඔවුන්ගේ 'දැක්ම' වෙනස් විය හැකි වුවත් ඔවුන්ටද ජාතික අරමුණු ඉක්මවා යා හැකි දේශපාලනයක් ගැන කතාකල  නොහැක. ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම හිලරි ක්ලින්ටන්ද කතාකරන්නේ ඇමරිකානු ජාතිකත්වයේ අරමුණු ගැනයි. බ්‍රිතාන්‍යයන් ජනමත විචාරනයක් පවත්වන ලද්දේ යුරෝපා හවුල සමග සිටිමෙන් ඔවුන්ගේ ජාතික අරමුණුවලට බාධාවක් සිදුවේද යන්න ගැනයි.

ශ්‍රී ලාංකීය ජාතික්වයක් නිර්මාණය කරගැනීම දශක කීපයක් තිස්සේ ඇදීයන විවාදසම්පන්න, ලේ වගුරැවාගත් මාතෘකාවකි. මේ පිලිබඳව විවිධ පිරිස් අතර ඇත්තේ විවිධ අදහස්ය. සමාජයේ විවිධ පිරිස් අතර මතවාදී වෙනස්කම් තිබීම ගැටලුවක් නොවේ. ගැටලුවෙහි පවතින විවිධ මානයන් පිලිබඳව අවධානය යොමුවන්නේ  මතවාද ගැටීමෙනි. නමුත් අවම වශයෙන්  අවධානයට ලක්කරන  අරමුණ පිලිබඳව හෝ පොදු එකඟතාවයක් පිරිස අතර තිබිය යුතුය. කෙනෙකු 'පොල්' ගැන අසන විට ලැබෙන පිලිතුර 'කොස්' ගැනනම් මේ කථා කරන්නේ 'පොල්' ගැන බව මතක් කර දිය හැක. නමුත් පිලිතුර කොසුත් පොල් වගේම යැයි පැවසීම නම් කල හැකි සංවාදය කුමක්ද? සාමූහික එකඟතාවයක් ඇතිකර ගැනීමේ ප්‍රථම පියවර අරමුණු සහ භාෂාවේ ඇති සංකල්ප පිලිබඳව  නිරවුල් බවක් ඇති කර ගැනීමයි. ඕනෑම ගැටලුවක් පිලිබඳව මිනිසුන් අතර එකඟතාවයක් ඇති කර ගත හැකි එකම මාර්ගය භාෂා සංනිවේදනයයි

ජාතීන් සහ ජාතීන්ගේ ප්‍රභවය පිලිබඳවද විවිධ දේශපාලන චින්තකයින් අතර ඇති අදහස් අතර එකඟතාවයක් නැත. ජාතීන් යම් නිෂ්චිත ඵෞථිහාසික සංසිද්ධීන් අනුව ගොඩනැගුනු සාමූහිකත්වයක් ලෙස විස්වාස කරන පිරිසක් මෙන්ම ජාතිය නූතනත්වය නැමැති සුවිශේෂී සංසිද්ධියට අනුව ඇතිවූවක් බවට විස්වාස කරන පිරිසක්ද සිටී. මේ එකිනෙක මතවාද මත පිහිටා තර්ක කරනවාට වඩා මේ මතවාද දෙක ඔස්සේම කරැනු විමසා බැලීම වඩා නිවැරදි ප්‍රවේශය ලෙස අපි විස්වාස කරමු.

ජාතිය යන්න නූතනත්වය සමග ඇතිවුනු  සංකල්පයක් බව විස්වාස කරන පිරිස්වලට අනුව එය ආරම්භ වන්නේ යුරෝපීය රටවල් මුල්කර ගනිමිනි. නූතනත්වය  තුල සිදුවුනු යම් නිෂ්චිත ආර්ථික සහ සමාජීය ක්‍රියාවලියක් තුල ඇතිවුනු දේශපාලන සංසිද්ධියක් ලෙස ජාතිකත්වය ඇතිවූ බව ඔවුන්ගේ අදහසයි. යුරෝපයේ සිදුවූ මේ සිදුවීම් සියවස් ගණනනාවක් තුල ජනතාවගේ නායකත්වය දැරෑ දේශපාලන ප්‍රභූන් සහ කංඩායම්  අතර වූ එකඟතාවයකි. සියවස් ගණනාවක් තුල සිදුවූ ධනවාදී අර්ථ ක්‍රමයේ පරිනාමයත්, නිදහස පිලිබඳව පුද්ගලයන් අතර ඇතිවූ  නව චින්තනයත් නූතන ජාතිය බිහිවීමට මග පෑදුනු බව බොහෝ පිරිස් පෙන්වා දී ඇත.

ඵෞථිහාසිකව ජාතිකත්වය නිර්මාණය වූ බව විස්වාසකරන පිරිස්වලට අනුව යම් නිෂ්චිත භූමිභාගයක, රාජ්යය මුල්කර ගනිමින්, අඛංඩ, ස්වීය සංස්කෘතික අන්‍යයතාවයක් සහිත වූ ජන සාමූහිකත්වයක් ජාතියක් ලෙස සලකයි. මෙරට ජාතික චින්තන මතවාදීන් දරන පංඬුකාභය යුගයෙහි ජාතිය නිර්මාණය වූවාය යන විස්වාසයට පදනම් වන්නේද මෙම මතවාදයයි.

අප වැනි යටත් විජිත රටවලට ධනවාදී අර්ථ ක්‍රමයක් සහ ප්‍රජාතන්ත්‍රවාදී ආංඬු  ක්‍ර්‍රමයක් නිර්මාණය කර දෙන්නේ යුරෝපීය යටත් විජිත හිමියන් විසින් මිස රටතුල ඇතිවුනු සක්‍රී  දේශපාලන ව්‍යාපාරයක් තුලින් නොවේ. නිදහසින් පසු විවිධ දේශපාලන නායකයින් විසින්  ඇතිකර ගැනීමට උත්සාහකල ජාතික එකඟතාවයන්ට විවිධ  අවස්තාවාදීන් බාධාකල බව ප්‍රකට  කරැනකිබංඩාරනායක සහ චෙල්වනායගම් අතර මෙන්ම ඩඩ්ලි සේනනායන සහ චෙල්වානායගම් අතර ඇතිකරගැනීමට උත්සාහ කල එකඟතාවයන් බිඳ වැටෙන්නේද මේ නිසයි. වර්ථමානයේ පවා  දූර දර්ශී දේශපාලඥයින්ගේ හිඟයක් ඇති අපට ඕනෑම එඟතාවයක් ඇතිකර ගත හැක්කේ ජනතාවගෙන් ලබන සක්‍රී සහභාගීත්වය තුලින් පමනි.

මිනිස් චින්තනයට මෙන්ම සාමූහිකත්වයට පදනම් වන්නේද භාෂාවයි. භාෂා භාවිතයේදී මිනිසා කරන්නේ  සංඥා මත විවිධ සංකල්ප නිර්මාණය කර ගැනීමයි. සිංහල භාෂාවෙහි ජාතිය යන වචනය වර්ගය, කුලය,වංශය වැනි  විවිධ නිරැක්තීන් සහිතව භාවිතා වන්නේ මත සකස් කර ගන්නා සංකල්ප වල ඇති විවිධත්වය නිසයි. අර්ථනිරෑපනය හෝ නිරැක්තිය යනු  සංඥාමත නිෂ්චිත අර්ථයන් සහිත සංකල්ප ගොනු කිරීමයි. ඉංග්‍රීසි භාෂාවේ Nation යන වචනය නිෂ්චිත අර්ථයක් සහිතව භාවිතා වුවත් සිංහල භාෂාවේ ඊට සමාන ලෙස භාවිතාවන ජාතිය යන වචනය ගැටලු සහගතය. භාෂාවක සංඥා, වචන නිර්මාණය කිරීම පහසු නැත. වචන නිර්මාණය කලද නිවැරදි සංකල්ප ගොනුකර ගැනීම එයටත් වඩා අපහසුය. මේ නිසා අපට කල හැක්කේ පවතින වචන මත හෝ නිවැරදි සංකල්ප ගොනුකර ගැනීමයි. දියුනු භාෂාවක් නොමැතිව පුද්ගලයින්ට පමනක් නොව ජාතියකටද නිරවුල් චින්තනයක් බිහිකර ගත නොහැකිය.

ඕනෑම ජාතියක සාර්ථකත්වය තීරනය වන්නේ එම ජාතියේ බහුතරය විස්වාස කරන දර්ශණයක් තුලින් තම සාමූහිකත්වය ඇතිකර ගැනෙන දැනුම නිර්මාණය කර ගැනීමට ඇති දක්ෂතාවය තුලයි. ලංකාවේ බහුතරය විස්වාස කරන බෞද්ධ දර්ශණය මනුෂ්‍යය  ස්වභාවය විග්‍රහකල හැකි සාරවත් දර්ශණයකි. එවැනි සාරවත් දර්ශණයක් බැබලවිය හැක්කේ වන්දනා කිරීම තුලින් නොව පැවැත්මට ඉවහල්වන දැනුම සංකල්පගත කිරීමට උත්සාහ ගැනීමෙනි. අපගේ මෙම උත්සාහයද ඒ වෙනුවෙනි.

මනුෂ්‍යයා සමූහගතවීමේ ඉතිහාසය ක්‍රියාවලියක් ලෙස හඳුනාගැනීමට ඉදිරියේදී උත්සාහ ගනිමු.


චමිල් විතාන